Saturday, 10 August 2024

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

 

.

.

සොඳුරු මතකේ මැරී ඉපදී 

                                 අතීතෙක සුව මවා පෑවත් 

සිඳුරු වූ හිත රිදෙනවාමයි 

                         දෙනෙත් අතරට කඳුළු නාවත්

අඳුරු අහසද වැලපි වැලපී  

                                 වියෝ ගීයක අරුත කීවත්

කිඳුරු පෙම්වත යළිත් එනතුරු 

                               උරුම නෑ මේ ගතට මාවත්...

.


‍රුදුරු වෙස් ගෙන සළෙල බඹරුන්

                                 සැරිසැරූවද වෙවී හාමත්

ගොදුරු නොවුණෙමි බැල්ම අභියස 

                            සුවඳ පිවිතුරු මලකි තාමත්

නුදුරු සසරේ යළිත් හමුවෙමු

              එතෙක් සෙනෙහස රැඳෙයි කෝමත්

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් 

                    සැපකි මෙලොවින් නික්ම යෑමත්...


                             --- දුමී ---


Saturday, 3 August 2024

හිස බරයි මම යන්නෙ කොහොමද ඔබව සොහොනේ රඳවලා.... ( ශනිදා රෑ දහයට XLII )

 .


.

පෙති පරව එකිනෙකින් මැලවී               

                                     අරලියාවෝ ගිලිහිලා

නිති වැතිර මග සදයි පාවඩ 

                                  දුක් සුසුම්පද මුමුණලා

පති යුවති සේ මා ළඟින් රැඳි 

                                 ඔබ සුසානේ තනිවෙලා

හති වැටුණු නෙත් රතුව ගියමුත් 

                                   කඳුලු උල්පත වියළිලා



හිස්තැනක් වූ අඳුරු දිවියට 

                            මල් නෙලාගෙන අමුණලා

ලස්සනක් කර දුන්නෙ නුඹමයි 

                        සුවඳ සෙනෙහෙන් නහවලා

ඇස්වහක් වැද අහිංසකවූ 

                             කැදැල්ලට ගිණි ඇවිළිලා

රස්නයක් නැති හුස්ම පිටකර 

                          ඇයි ගියේ දුර නොපෙනිලා



කුස පිරෙන්නට නොමැත මව්කිරි     

                          සිඟිත්තිගෙ ඇස් රතුවෙලා

සොය සොයා ඈ මවගෙ උණුහුම 

                                   හඬා පපුවම බරකලා 

බැස ගියේ කිම යළි නොඑන්නට 

                                   මසිත් අහසම රිදවලා 

හිස බරයි තව යන්නෙ කොහොමද 

                         ඔබව සොහොනේ නවතලා...



                             --- දුමී ---

Saturday, 27 July 2024

චේ..... සේ......

 .


             චේ

             සේ

             කෑ

              ගෑ



              ලේ

               පෑ

              කෝ

               තා...

Saturday, 13 July 2024

සුසුමකවත් නැවතුණිනම්.... ( කෙටි කතාව )

 

.

--- සුසුමකවත් නැවතුණිනම් ---

                         ( කෙටි කතාව )

.


ජීවිතය පිළිබඳව වූ ඒ භයානකම ලියවිල්ල යළිත් මගේ ඇස් ඉදිරියට පැමිණියේ කීවෙනි වතාවටද යන්න මම නොදනිමි. වරක් බලා මේසය මතට විසිකර දැමූවත් යළි යළිත් එය කියවන්නට හිතෙන්නේම තවමත් එහි සටහන්ව තිබූ දෙය අදහාගත නොහැකිවූ බැවිනි. මේසය අසළ පුටුවේ වාඩිවී පොඩි කර තිබූ ඒ කොලය හෙමින් හෙමින් නැවතත් මම දිගහැරියෙමි.


දිනය, වෙලාව, නම, වයස, ආදී වූ විස්තර අතරේ ඒ සටහන දකිද්දි මගේ තොලකට වේලී ගියේය. හද ගැස්මද වේගවත් වන බව දැනුණු අතර සිහින් දාඩියකින් ගත වෙලී ගියේය.

ඒ අතර ජංගම දුරකථනය යළිත් සද්ද නගා වද දෙන්නට විය.


" සත්‍යා " 


මගේ ජීවිතය බොහෝ දුරට හැදූ මගෙ ආදර පෙම්බරියයි. රුව සේම ගතිගුණ අතින්ද ඈ යහපත් තැනැත්තියකි.

උදේ පටන් කීප වරක්ම ඈ මට ඇමතීමට උත්සාහ දැරුවාය. එහෙත් දැන් ඇයට කතා කිරීමට තරම් සුදුසු මානසික මට්ටමක මම  නොවූ නිසාම දුරඇමතුම විසන්ධි කෙරුවෙමි. 


" මට සමාවෙන්න මැණික..."  සැබැවින්ම සත්‍යා තවත් දෙවසරකට පෙර මට මුන ගැසුණිනම් මගේ ජීවිතය වාසනාවන්ත එකක් වනවාට සැකයක් නැත.


හිසේ වේදනාවක් දැනුණු බැවින් මම මේසය මත හිස තබා ගත්තේ ඒ ලියවිල්ල යළිත් පොඩිකර මේසය මත තබමින්‍ ය. 


" ජීවන මහත්තයා "


කාමරයේ දොර අසළින් ඇසුණේ නිවසේ මට සහයට සිටින "අමර" ගේ කටහඬයි.


" එන්න ඇතුළට " මම පැවසූ පසු ඔහු කාමරයට පැමිණෙන බව සෙරෙප්පු ශබ්දයෙන් තහවුරුවිය.


" දවල් කෑම එක ගෙනාවා "

" මට බඩගිණි නෑ, අමර අරං යන්න"

"ඇයි මහත්තයට අසනීපයක්වත්ද ?"

" නෑ. පොඩි හිසරදයක් , දැන් යන්න "

අමර යළිත් පිටවෙන සෙරෙප්පු ශබ්දය මට ඇසුණේය. 


කුමක් කරන්නද , කාට කියන්නද ? මට විසඳුමක් නැත. මම හිස එසවූයෙමි. මේසය මත තිබූ රාමු කරන ලද මගේ උඩුකය සහිත ඦායාරූපය නෙත ගැටුනේ ඒ මොහොතේදීයි. මම එය දෝතින්ම අසළට ගත්තෙමි. 

එය මීට වසර කිහිපයකට පෙර ගත් ඦායාරූපයකි. එකල හිතේ තිබුණේ සැහැල්ලුවකි. සතුටකි. නිදහසකි. එහෙත් අද වනවිට ඒ කිසිවක් මා අසළ නැත. සුසුම, කඳුළ , වේදනාව පමණක් ඉතිරිව ඇත.


 සත්‍යාගෙන් තවත් දුරකතන ඇමතුමක් ලැබුණත් මම එය විසන්ධි කෙරුවෙමි. එහෙත් ඈ නැවතත් ඇමතුමක් ගත් අතර මම එවරද එය විසන්ධි කර අනතුරුව ක්‍රියා විරහිත කෙරුවෙමි. වේදනාවත්, ජීවිතේ පිළිබඳව වූ කළකිරීමත්, කිසිවෙකුටත් මුහුණදීමට නොහැකි නිසාත් දැන් මා තුළ වූයේ කළබලකාරී බවකි. ඉවසිය නොහැකි තැන මම දුරකථනය පොලොවේ ගැසුවෙමි. එය කැඩී විසිරී යන්නට ඇතැයි සිතමි.


නැවතත් මගේ නෙත ගැටුණේ මේසය මත තබාගත් රාමුකළ ඦායාරූපයයි. එහි සිනහවේ යම් වෙනසක් මට පෙනුණි. ඔව්. මම නිවැරදිය. ඒ රූපයට පණ ඇවිත්ද ? එහි සිටින මම දැන් සිනාසෙනුයේ සමච්චලයට බව මට සිතුණේය. ඒ ශබ්දය මට දරාගැනීමට අපහසුය. මම මිටමොළවාගත් අතින් එයට ගැසුවෙමි. 


ඦායාරූපයේ වීදුරුව කෑලි කෑලිවලට බිඳී ගියේ සැනෙකින්ය. එහෙත් ඒ වීදුරු කැබලි යටින් වූ මගේ ඦායාරූපය යළිත් මට සිනාසුනේය. කෝපය වැඩිවූ නිසාම මම එය සුරතින් බිමට තල්ලුකර දැමුවෙමි. වීදුරු කැබලි බිම පුරා විසිරී ගියේ මැදගිල්ලේ ලේ පැල්ලමක්ද රඳවමිණි.


මම මැදඟිල්ල පොඩිකරමින් මතුවෙන ලේ බිඳු දෙස බලාසිටියෙමි. එය දකින මොහොතේ දී මගේ මතකය ඇදී ගියේ මේ හැම විඳවීමකම ආරම්භක හේතුව වෙතටයි.


ඈ " මිත්‍යා "ය. ඇය මුණගැසුණේ සත්‍යා හඳුනාගැනීමට වසර දෙකකට පමණ පෙර වීම මගේ අවාසනාවට හේතුවිය. 

යන එන මග තොටේදී අහම්බයෙන් මුණ ගැසී සතියක් දෙකක් වැනි කෙටි කලකදී දැන හදුනාගත් මිත්‍යාත් මාත් අතර සම්බන්දතාවය ආදරයකට වඩා රාගයකට මුල් වූ බව කිව යුතුයි. මේ නිසාම අපේ සම්බන්ධතාවයේ කෙළවර වූයේ, නගරයේ රාත්‍රී ලැගුම් හලක කාමරයකිනි. 


" ඔය ඉතින්... කපා ගත්තද ඇඟිල්ල...කෝ බලන්න.." නාන කාමරයේ සිට මිත්‍යා මා අසළට පැමිණියාය.


" ටිකක් කැපුණේ..."

ඈ ලේ බිඳුවක් උනන මගේ මහපටඟිල්ල බලා සැනෙකින් එය මුවතුළට දමාගත්තාය . ඒ අතේ සීතල මාව හැඟුම්බර කිරීමට සමත්විය.


මම හෙමින් සැරේ ඇගේ සිරුර පසුපසට දෑත යවා ඈව තුරුළු කරගත්තෙමි. ස්නානයකර තුවායක් හැඳ සිටි ඇගේ තෙත කොණ්ඩයෙන් තවමත් වතුර බිඳු එකින් එක පිටට වැටෙමින් තිබෙයි. 


" මම නාලා එනකන් ඉන්න තිබ්බනේ අඹ කපන්න ගියේ ... දැන් හරියයි... "

ඈ අඟිල්ල ගෙන තුවායේ පිස දැමුවාය.


" තාම හරි ගියේ නෑ " මම ඇගේ මුහුණට ළංවුණෙමි. ඒ අඩවන් දෙනෙත් තෙත් වූ සිනිඳු දෙතොල් මගේ ඉවසීම බිඳ දැමුවෝය.


" මො..ක...ද්..ද ?"

" පි..ස්...සු..ව..   ම...ගේ... "

" ඒ.. කි...ව්...වෙ... "

කතාව එපමණය. ඒ දෙතොල් මා දෙතොල් අතර තිබූ පරතරය ටිකෙන් ටික අඩුවිය. ඒ දෙඅත් මගෙ පිට පුරා දිව ගියෝය. උණුහුම් රසය අතරේ දෙනෙත්.....


ඒ අඳුරු මතක මතින් මම පියවි ලොවට පැමිණියේ අමර යළිත් කාමරයට පැමිණ මගේ උරහිසින් අල්ලනවාත් සමගම.

"අ...ම...ර..." 

" මහත්තයාට මොකද වුණේ. මේ වීදුරු කෑලි බිමත් එක්ක. ආහ්.. අතින් ලේත් එනවා නේද ?. කෝ මම ..." මේ මොහොතේ ඔහු මට තවත් හිසරදයකි


" අමර...යන්න එලියට "

"ඒත් මහත්..." 

" යන්න නේද කිව්වෙ " 

"අනේ ඒත්..."

"පලයං මිනිහෝ එළියට" 

බැරිම තැන මම පුටුවෙන් නැගිට්ටෙමි.

අමර බිය වී කාමරයෙන් පිටවී ගියේය. මම ඉක්මනින්ම කාමරයේ දොර වසා අගුල දැමුවෙමි.


පොඩි කෙරූ කඩදාසිය තවමත් මේසය මතය. මගෙ හිස දැන් එකම අවුල් ජාලයකි. තීරණයක් ගත යුතුව ඇත. එහෙත් එය සත්‍යාට කෙසේ බලපායිද ? එවන් අහිංසක තැනැත්තියකට තව දුරටත් ගින්දරක් දෙන්නේ කෙසේද ? කුමක් වුවත් තවත් ඉවසා සිටිය නොහැකිය.

මම මේස ලාච්චුවෙන් කඩදාසි කොලයක් හා පෑනක් ගෙන ඇඳට ගොස් ඇයට ලිව්වෙමි.


" සත්‍යා "

කවදාවත් මෙහෙම දෙයක් ලියන්නට වෙයි කියලා හිතුවෙ නෑ. ඉස්සෙල්ලම මට සමාවෙන්න සත්‍යා. ඔයා මගේ ජීවිතේට අරන් ආවෙ, ආළෝකයක්. ඉදිරියේදී විවාහය වෙනකන් අපේ ආදරය පූජනීයව තියාගන්න ඔයා හැමවිටම උත්සාහ කරා. ඒකයි මට තියෙන සැනසීම. ඒත්... ඒත්... ඔයා මගේ ජීවිතයට එන්න කලින් කරපු මගෙම වැරදි නිසා අද වෙනකොට මම ඒවට වන්දි ගෙවමින් ඉන්නෙ. ඔයාව හැමදාමත් මගේම කරගෙන ලස්සන ජීවිතයක් ගෙවන්න ආසාවෙන් මම හිටියෙ. ඔයාට පොරොන්දු වුණෙත් ඒකයි. ඒත් මට සමාවෙන්න... මීට පස්සෙ ඒ පොරොන්දුව තවත් රකින්න බෑ මැණික..

මේ කියන්න යන දේ ඇහුවොත්, ඔයා මට වෛර කරයි. මාව පිළිකුල් කරයි. ඒත්... මේ හැම දෙයක්ම වුණේ ඔයා මගෙ ජීවිතේට එන්න කලින් කියන එක මම ඔයාට කියන්නම ඕන. මොකද ඔයා තමයි, තේරුමක් නැති ජීවිතය ක් ගතකරපු මාව හරි පාරට ගත්තෙ. ඒකට ඔයාට ගොඩක් පිං. ඔයාට කවදාවත් වරදින්න බෑ. ඔයාට හොද ආදර හදවතක් අනිවාර්යෙන්ම ළංවෙයි. ඉතින් මට දැං යන්න වෙනවා මැණික. 


ලිපිය අවසන් කරන්න කළින් දොරට ගසන ශබ්දය ඇසුණි. ඒ සත්‍යාය.


" අනේ ජීවන... මේ දොර අරින්නකෝ..ඔයාට මොකද අද උදේ ඉදන් උනේ... ජීවන... , කෝල් ගත්තට කතා කරන්නෙත් නෑ...

ජීවන...... ජීවන...."


සත්‍යා දොරට ගසමින් හඬයි. ඒ අතර අමරගේ කටහඬද ඇසෙයි. මම ලිපිය අවසන් කිරීමට සැරසුණෙමි.


මට ආයෙත් නොඑන්නම යන්න වෙනවා, සත්‍යා. මොකද කවදාවත් හොඳ කරන්න බැරි දරුණු සමාජ රෝගයක්, දැන් මාව බිළි අරගෙන තියෙන්නේ...

ඉතින් කොහේ හිටියත් සතුටින් පරිස්සමෙන් ඉන්න... මට මෙහෙම කියන්න අයිතියක් නෑ. මොකද මුලු හදවතින්ම ඔයා මට ආදරය කෙරුවා. මට ඒ ආදරය ලබන්න පිං නැතිවුණා. ඒත් ඔයා හොඳින් ඉන්න. මගේ මතක හැම එකක්ම ඔය හිතින් මකල දාන්න මැණික.

අඩුම තරමෙ මම  ඔයාගෙ සුසුමකවත් නැවතිලා ඉන්නවනම් ඒ සුසුමත් පිටකරලා අලුත් ජීවිතයක් පටන ගන්න මැණික.

පරිස්සමෙන් ඉන්න.

මම යනවා.


ලියූ කොලය ඇඳ මත තබා මම ඇඳේ වැතිරුණෙමි. බාල්කය දිගේ පහළට එල්ලෙන කඹය මා දෙස කෑදරකමින් බලා ඉන්නවා සේ මට හැඟෙයි. ඒ කඹේ දොළදුක සංසිඳවීමට ඇති හොඳම වෙලාව දැන් උදාවී ඇත.


       --- සුසුමකවත් නැවතුණිනම් ---


                        --- නිමි ---

Saturday, 6 July 2024

වැරදි තැනමයි තොප්පි රැඳුණේ නොමග යවනව රූපෙ නාරී... ( පමාවූ ශනිදා රෑ දහයට XXXIX ).

 

.

දුරදි දැකලා හිතම පිරුණත් 

                                කුතුහලේමයි නිතර     පෑරී 

නොරැඳි මොහොතක් කොහෙ ගියේදෝ            

                            සළුව අහකට හැඩය     බේරී  

පැරදි පැරදී ඉන්න බෑමයි 

                           පිපිල නටනව හැඟුම්     මේරී

වැරදි තැනමයි තොප්පි රැඳුණේ 

                          නොමග යවනව රූපෙ      නාරී...


              

                                ---  දුමී ---

Saturday, 29 June 2024

උමතු පේමෙගෙ සොහොනෙ තාමත් රෑට කවියක් හෙමින් ඇහෙනව.... ( ශනිදා රෑ දහයට XXXVIII)

 .


.

උමතු පේමෙගෙ සොහොනෙ තාමත්

රෑට කවියක් හෙමින් ඇහෙනව..

.


"මල් කැඩූ වැව" නමින් ඉස්සර 

                      හැඳින්වූ එක ගමක් තිබුණා

ගල් ගසුත් වගෙ ශක්තියක් ඇති

                      ගම්මු පිරිසක් එහිත් රැඳුණා

සිල් වතාවත් මාසෙ පෝයට 

               මගහරින්නැති කෙනෙක් පෙනුණා

වල් සතුන්ටත් සෙනේ දක්වපු 

                    ඔහුට " පේමේ" කියණු ඇහුණා

.


ගමත් හඬවන ඉලව් ගෙදරක්          

               කොහොමටත් නෑ මග හරින්නේ

විටත් අඹරා කටත් රතුකර 

                      සබාවක් මැද තනි මකන්නේ

නමත් පෑහෙයි රුවට කදිමෙට 

                       හිනාවක්මයි මුව රැඳෙන්නේ

ඔහුත් දිනයක මලවි හීසර  

                 වැදී "නයනගෙ" පෙම ලබන්නේ

.


පිපුණු පෙම්මල් සුවඳ රහසෙම 

                      ඒ දෙසිත්වල  හැඩ මවන්නේ 

කරුණු දැනගෙන ඇගේ මව් පියො 

                     ඊට එරෙහිව දොස් නගන්නේ

හිතනු බැරි ලෙස වෙනත් දීගෙක 

                                දූව පටලා දුර යවන්නේ

මැරුණු ආලය ගැනම හිතමින් 

                       පේමෙ උමතුව දුක් විඳින්නේ

.


නොපැතු ඉරණම කඩන් වැටිලා 

                   අරමුණක් නැති බවම දැනෙනව

දුරුතු පෝයක ඔහුගෙ සිරුරත් 

                          රේල් පාරක දැකල තියෙනව

අමුතු හැඟුමක් එක්ක අදටත් 

                          ගම්මු ඒ ගැන රහස් කියනව

උමතු පේමෙගෙ සොහොනෙ තාමත්

                     රෑට කවියක් හෙමින් ඇහෙනව...

.


                           --- දුමී ---


"මල් කැඩූ වැව "  අදවනවිට කුරුණෑගල මීගමු පාරේ පිහිටි " මල්කඩුවාව " බවට පත්වී ඇත. 

මෙම සිද්ධිය නිර්මාණයක්ම පමණකි.



Saturday, 22 June 2024

උදුල සඳවත මේඝයන්ගෙන් මුවාකරගෙන තවත් කුමකට.... (ශනිදා රෑ දහයට XXXVII)

 

.

.

වදුල   තුරු මත රඟන කුසුමක

                   බිඟුන් මත්වෙයි පැහැය    සුවඳට

මිදුල   පැහැදිලි වුවත් හැඩතල 

                දැමූ නටඹුන් පෙනෙයි    මෙලෙකට

කඳුල  පරදා සුසුම් සැනසුම්

              රතී දෙව් දුව සොයන     මොහොතට

උදුල     සඳවත මේඝයන්ගෙන්

                    මුවාකරගෙන තවත්     කුමකට....

 


                            --- දුමී ---


Saturday, 15 June 2024

දැවෙන අඳුරේ නිදිවරන්නට තහංචිත් නෑ වටේ බැද්දෙන්...( ශනිදා රෑ දහයට XXXVI).

 .


.

බුදින අස්වනු වන සතා විත් 

                    උනුත් කුස ගිණි නිවා ගද්දෙන්

වැටෙන වැස්සට උමතු පොළොවෙන් 

                  නැවුම් සුවඳක් එකතු වෙද්දෙන්

කොටන අකුණුද පැරදුනාමයි 

                           උඹේ කෙඳිරිය ඊට සද්දෙන්

දැවෙන අඳුරේ නිදිවරන්නට 

                         තහංචිත් නෑ වටේ බැද්දෙන්....


--- දුමී ---

Saturday, 8 June 2024

සඳු හිරු පවා මෙපුරට මල් අසිරි ඉසී... ( ශනිදා රෑ දහයට XXXV))

 .


.

.

සුදු   මීදුමක් සීතල හා පොකුරු        ගැසී

සිඳු   රළ විළස ඇතුගල මුදුනටම      බසී

සැදු  මෙත් බලය බුදු හිමිගේ නිතර   දිසී  

සඳු   හිරු පවා මෙපුරට මල් අසිරි     ඉසී...

.


බොදු  දන සේම හැම ආගම් හතුරු       නොවී

බඳු      රන් දමක් වී සමගිය සදයි               අවී

බිඳු      වැහි වැටේ හිරු එළියද සමව        මැවී

බුදු      හිමි පිනෙන් ඇතුගල්පුර ‍රැකෙයි   නිවී...


--- දුමී ---

Saturday, 1 June 2024

මැරුණු පෙම යළි ඉපදි ඉපදී දවන්නද අපෙ හමුව වූවේ... (ශනිදා රෑ දහයට XXXIV) .


 .

තුරුළු කරගෙන රැක බලන්නට 

                      පිපුණු පැතුමන් ඇතත් බෝමා 

කුරුළු සෙනෙහස දැණුනු දිනයෙම

                          හැඟුම් හිරකර මැවුණි සීමා 

පිරුළු ගළපා අරුත සෙව්වත් 

                      නමින් එකමයි ගොඩක් තේමා

කිරුළු රැඳුණත් අහිමි දුකටම 

                     පාළු දෙනුවර සොහොන් සේමා...



පිරුණු සඳවත ගුවනෙ සරමින් 

                       පොළෝ තලයට කඳුළු පෑවේ

කරුණු යෙදුනත් දැක බලන්නට

                          අයිති වනු බැරි රහස කීවේ

තුරුණු හැඟුමන් මතුව සැඟවෙන

                           හුදෙකලාවක සුසුම් රාවේ   

මැරුණු පෙම යළි ඉපදි ඉපදී 

                           දවන්නද අපෙ හමුව වූවේ...

  .


"96" තවත් එක් සිනමා නිර්මාණයක් වුවත් එය හදවතට මෙතරම් සමීප වූයේ ඇයිද කියන එක තාමත් හොයනවා...

--- දුමී ---

Saturday, 25 May 2024

බලන් වරුණ අටපට්ටම සදා බැතින්... ( ශනිදා රෑ දහයට XXXIII ).

 .


ඉරටු මිටක් හෝ බට අතු ගැට      ගහලා

දොරටු ගානෙ වෙසක් සිරිය හැඩ කරලා

සතුටු වෙමින් එහි ලස්සන කවි     හදලා

නොදුටු අරුත අටපට්ටමෙ දෙමි   ලියලා  


සිඳුර විලස උඩ යට ඇති පැති      අඳුරූ

නිතර දකින ඉපදුම මරණය      ඇතිරූ

පැතිර වටේ හතරැස් කොටු රූ  තැවරූ

හතර අරිය සත්‍යම පෙන්වයි      මිතුරූ


පෙන්නා හැඩය හරි අගේට මිමි       තියලා

ඉන් ත්‍රිකෝණ අටක් විලස ඇති        රැඳිලා

පින් පිරි අරිය අෂ්ඨංගික මග           මවලා

දැන් දැන ගමුද එහි අරුතද සිහි      කරලා


සිහින් රැළිද සැරසී සව් කොලය          මතින්

සුළං සැරට ළෙල දෙනවා හතර           අතින්

බියෙන් පිරුණු සසරම ඉන් පෙනෙයි  ඉතින්

බලන් වරුණ අටපට්ටම සදා             බැතින්..


--- දුමී ---

Saturday, 18 May 2024

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

 

.

" සුදු අරලිය මල් පොකුරක්... "


( කෙටි කතාවක් )...



"ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න වී තිබුණි.  වැහි පොද අතරේම මම  දුම්රියෙන් බැසගත්තේ කුඩයක් නොගැනීම පිළිබඳව මටම දොස් කියාගනිමින්ය. රාත්‍රියට ආසන්න වී තිබු නිසාම අවට ගැමි ජනතාවද පෙනෙන්නට නොවුණි. තවත් සුළු මොහොතකින් දුම්රිය යළිත් පිටත් වූ පසු රේල් පාර දිගේ මම හෙමින් හෙමින් ඉදිරියට පියමං කෙරුවේ ජංගම දුරකථනය අතට ගන්නා අතරේය.


" මානසී "


මම ඒ නමට යළිත් ඇමතුමක් ගත්තෙමි. එහෙත් ඒ දුරකථනය තවමත් ක්‍රියා විරහිත වී ඇත. වරක් දෙවරක් නොව, මා විසින් ඇයට ගනු ලැබූ දුරකථන ඇමතුම් ගණන විස්සකට අධිකය. 


" මානසීට අසනීපයක්වත් වුනාද ?"

" ඒත් ෆෝන් එක ඕෆ් කරන්න තරම් අසනීපයක් ? "


මට සිතාගැනීමට නොහැකිය. 


අවට අඳුර වැඩිවන බවක් පෙණුනු බැවින් මම බෑගයේ වූ විදුලි පන්දම ගෙන එය දල්වාගෙන යළිත් ඉදිරියටම ගමන ආරම්භ කෙරුවෙමි. අයහපත් කාළගුනය හේතුවෙන් මේ ප්‍රදේශයේ විදුලිය විසන්ධිවී ඇති බව මට හැඟුණේ වෙනදාට විදුලි ආළෝකයෙන් බැබළෙන නිවාස තුළ අද අඳුරු බවක් පෙනෙන්නට වූ නිසාය. 


දින හතරකට කලින් නිවාඩු ලබාගෙන ගමේ ගියත් මානසී සමග දුරකතනයෙන් කතා කිරීමට ලැබුනේ මම ගිය දිනයේ පමණි. ඉන් පසුව දිගටම ඇගේ දුරකතනය ක්‍රියා විරහිත වී ඇත. 


මම මේ ගමට පැමිණි අලුත් පාසල් ගුරුවරයකු නිසාත්, ඇය මේ ගමේ පදිංචි සාමාන්‍ය කාන්තාවක් නිසාත්, අප අතර ඇතිවූ ප්‍රේම සබඳතාවය තවමත් රහසිගතව පවත්වාගෙන යන එකක් නිසාත් ඈ පිළිබඳව කිසිවකුගෙන් විමසීමටද නොහැකිය.


දහසකුත් සිතුවිලි අතරේ පැරණි ගල් පඩි පේළි කීපයක් නැගීමෙන් අනතුරුව මම මගේ නවාතැන්පොළ වෙත පැමිණියෙමි. 

ඒ වනවිට රාත්‍රී හතට ආසන්න වී තිබුණි.

දොර විවෘත කරගෙන නිවස තුළට පැමිණ

බෑගය ඇඳ මතට විසිකර දැමූ මම විදුලි පන්දම මේසය මත තැබුවෙමි.


තොල කට වේලී ගොස් ඇත. බෑගයේ තිබූ වතුර බෝතලයෙන් උගුරක් දෙකක් බී එයද මේසය මත තැබුවෙමි. අනතුරුව ඇදුම් ගළවා දමා සරමක් හැඳගෙන යළිත් ජනේලය දෙසට ගියේ අතැඟිලිවලින් හිසේ වූ ජල බිංඳු පිසදා  ගනිමින් ය. 


වැස්ස ටිකෙන් ටික වැඩි වුවද කාමරය තුළ වූයේ තරමක උණුසුම්බවකි. ඒ නිසාම ජනේලය විවෘත කෙරූ මම ඒ අසළ පුටුවේ හාන්සි වුණෙමි.


වැහි පොදත් සමග සීතල මුසුවී හමා ආ සුළඟට මගේ තෙහෙට්ටුව මදකට හෝ සමනය කිරීමට හැකි විය.


" මානසී..."

" මානසී..."


මතකෙට නැගෙන්නේම ඒ රුවය, ඒ කටහඬය, ඒ හුරතල් හිනාවය. ඉතින් කෙසේනම් ඈව අමතක කරන්නද ? ඈ පිළිබඳ සුන්දර මතක සිතුවිලිත් සමගම මගේ නෙත් පියවිය.


මොහොතකින් දොරට ගසන ශබ්දයක් ඇසීමෙන් මම දෙනෙත් විවර කෙරුවෙමි.


" කවුද ?"


" මම අනේ... අඳුරගන්න බැරිද ?"


ආහ්... මානසී...! ඔව්. ඔව් ඒ මානසීගේ කටහඩයි.


සතුටත් සමගම මම දොර අසළට දිව්වෙමි.


" කල්ප.. !,"


මානසී විවෘතව තිබූ දොරටුවෙන් කළබලයෙන් මෙන් පැමිණ මාව වැළඳගත්තාය. 


" මා...න...සී..."


සිතා ගැනීමට නොහැකි මොහොතක ඇගේ පැමිණීම මට ඇතිකලේ මහත් සතුටක්, පුදුමයක්. 

මම ඇයව වැළඳගත්තෙමි.

මගේ නිරුවත් උඩුකයට ඇගේ දුහුල් ඇඳුම හරහා දැණුනු ඒ උණුහුමට මම තදින්ම ඇලුම් කෙරූ නිසාම තව තවත් ඇයව තදින් වැළඳ ගත්තෙමි. ඒ පිරුණු ලැමේ ආදර උණුහුම හිත පුරා විඳ ගැනීමට ඇගේ ඇඳුම කිසිසේත්ම බාධාවක් නොවුණි.


මද වෙලාවක් පැවති නිහඬ බව බිඳ දමමින් මානසී හඩ අවදි කළාය.


" මාව අමතක කරලම දැම්ම නේද ? "


" අනේ නැහැ මැණික... 

මම කී වතාවක් ඔයාට කතා කරන්න හැදුවත් ඔයාගෙ ෆෝන් ඕෆ්..., 

අනික මම කොහොමද එහෙම ඔයාව අමතක කරන්නෙ... 

ඔයා හිතනවද.... 

ඔයා හිතනවද මැණික...

ඔයාව අමතක කරලා මට හුස්මක් ගන්න පුලුවන් වෙයි කියලා ..."


" මම දන්නවා, මට ඔයාගෙ ආදරේ දැනෙනවා ..."


මානසී මගේ නළල මත උණුසුම් හාදුවක් තබමින් පවසා මාව අතහැර මේසය අසළට ගියාය. 


" මම මේ පන්සල් ගිහින් එන ගමන්... ලස්සනයි ද මේ මල් පොකුර... ඔයාටමයි ගෙනාවෙ..."


එසේ පැවසූ මානසී ඇගේ අතේ රඳවාගෙන තිබූ සුදු අරලිය මල් පොකුර මේසය මතවූ මල් බඳුණට දමා ඇඳේ වාඩිවුණාය.


"ලස්සනයි. , ඒත් ඔයා තරම් නෑ මැණික... "

අනතුරුව මමද ඈ අසළින්ම වාඩි වුණෙමි. 


හිස මගේ වම් උරහිසේ තබාගත් මානසී මට තුරුළු වුණාය.ඇගේ නළල සිප ගත් මම ඇයව තවත් තදින්ම බදාගත්තෙමි. 

ඒ සුවය මට සතුටක්ය. මම ඒ උණුහුම ට තදින්ම ඇලුම් කෙරුවෙමි. දෙනෙත් පියාගෙනම මම ඇගේ උණුහුම වින්දෙමි.


ගතවූ වේලාවක් පිළිබඳව මට වැටහීමක් නැත. යළිත් මා දෙනෙත් විවර කෙරුවේ දොරට ගසන ශබ්දයක් ඇසීමෙනි. ඒ වනවිට පහුවදා උදෑසන වී තිබුණේය. නිවසේ ජනේලය මෙන්ම දොරද හැර තිබුණි. 


" ඉස්කෝලේ මහත්තයා...."


කවුරුන් හෝ මිදුලේ සිට මා ඇමතුවේය. මම ඇඳේ වාඩි වී වට පිට බැලුවෙමි.


" මානසී "....?


එහෙත් මානසී අසළ නොසිටියාය. ඊයේ රෑ මා සමඟින් සිටි මානසී කෝ.. ? ඇය යන්න ගිහින්ද ? එසේනම් මට නොකියා ගියේ ඇයි ? මම කල්පනා කෙරුවෙමි.


" ඉස්කෝලෙ මහත්තයා , තාම නිදිද ? "


පැමිණ සිටි පුද්ගලයාගේ කටහඬ යළිත් ඇසුණු බැවින් මම ඉක්මනින්ම විවෘතව ඇති දොර දෙසට ගමන් කෙරුවේ කමිසයද ඇඳගන්නා අතරේය.


" ආ ... මේ බණ්ඩාර මාමානෙ. කොහොමද මාමෙ "


ගමේ අහිංසකම චරිතයක් වන බණ්ඩාර මාමාගෙන්  මම ඇසුවෙමි. 


" ඉස්කෝලෙ මහත්තයා ඊයෙ රෑද ආවෙ. කොහෙද මේ මූසල වැස්ස හින්දා මේ පැත්තේ එන්නවත් බැරිවුනා. පහුගිය ටිකේ පොඩි විනාසයක්ද මේ පැත්තට වුණේ... ඊටත් වඩා කරන්ට් එකත් නෑ.. ? "


" මම ඊයෙ රෑ තමයි ආවෙ මාමෙ. 

මහන්සිය හින්දද මන්දා ඔලුවත් රිදෙනවා තාම, 

ඒක නෙමෙයි මාමා කොහෙද ගියේ සුදු ඇඳුමකුත් ඇඳගෙන ?" 

මම ඔහුට වාඩිවීමට පුටුවක් තබමින් ඇසුවෙමි.


" මම පන්සලට ගිහින් එන ගමන්, අර දෙන්නත් එක්ක. ඒ ගිහින් එන අතරෙයි මේ දොරවල් ජනෙල් ඇරලා තියෙනවා දැකලා ඒ දෙන්නට යන්න කියලා ආවෙ.  අර යන්නෙ ඒ දෙන්නා..."


ඔහු පැවසුවේ පාර දෙසට අත දිගු කරමින්. මම ඒ දෙස බැලුවෙමි. සුදු පාට ඇඳුමින් සැරසී පාරේ ඈතට යන ඒ යුවළ මම හඳුනාගත්තෙමි.


" මාමේ... ඒ අර කන්ද පාමුල ගෙදර මාමයි නැන්දයි නේද ? "


" ඔව් ඔව්. අර මානසී දැරිවිගෙ අම්මයි අප්පොච්චියිනේ. ඒ උදවියත් එක්ක තමයි මම මේ පන්සල් ගිහින් එන්නේ "


බංඩාර දිගු සුසුමක් පිට කරමින් මා දෙස හැරුණේය. 


" එතකොට මානසී පේන්න නැත්තේ...?"


" මහත්තයට මෙහෙ වුණ දේවල් දන්වන්න විදිහක් තිබ්බෙ නෑනෙ. "


ඔහු ලේන්සුව ගෙන ඇස්වල පිරුණු කඳුළු පිසදාගත්තේය.


" පහු ගිය ටිකේම වැස්සනේ. මහත්තයා ගිය දාට පහුවදාත් මහ වැස්සක් වැටුනා. ඒ වැස්ස අඩු වුණාට පස්සෙ ඔය මානසී දැරිවියි ඒ අම්මයි අප්පොච්ච්යි පන්සලට යන්න පිටත් වෙලා තියෙනවා. අම්මටයි අප්පොච්චිටයි යන්න කියලා මේ දැරිවි ආයිත් හැරිලා ගෙදර ඇවිත් තියෙනවා වැට අයිනෙ තියෙන ලොකු අරලිය ගහෙන් මල් පොකුරක් කඩාගන්න කියලා... ඒත්..."


ඔහු යළිත් ලොකු හුස්මක් පිටකරමින් කතාව ආරම්භ කෙරුවේය. 


" ඇයි මොකක්ද සිද්ද්වුණේ , මාමේ.." 

මට දැනුණේ යම් අමුත්තක්.


" ඒ දැරිවිගේ ගෙට එහායින් තිබ්බ අර මහ පස් කන්ද ..! ඒක මහ වැස්සට තෙතබරිත වෙලානෙ  තිබ්බෙ. කිසිම හිතක් පපුවක් නැතුව..... ඒ කන්ද    ක.... ඩා...   ගෙන...  වැටිලා.... අනේ.... "


ඔහු ඉකි ගසා හඬන්නට වුණේය. මට කිසිවක් හිතා ගැනීමට නොහැකි විය. ඔළුව කැරකෙනවාක් මෙන් දැනෙන්නට වූයෙන් මම ඉදිරි දොරට හේත්තු වුනෙමි. 


" එතකොට මානසී....

එහෙම දෙයක් වෙන්නේ කොහොමද ? මානසී... 

නෑ නෑ... එහෙම වෙන්න බෑ...

ඊයෙ රෑත්... ඔව් ... 

ඊයේ රෑත් එයා මාව හම්බෙන්න ආවනේ මෙහෙ. 

ඔව් මට මතකයි. ඊයේ රෑ වෙනකන් එයා මාත් එක්ක හිටියනේ.. එතකොට අර...."  


නොනවත්වාම පහළවූ සිතුවිලි අතරේ මම ගේ තුළට එබී මේසය මත තිබූ මල් බඳුනට මානසී දැමූ අරලිය මල් පොකුර තිබේදැයි බැලුවෙමි. පුදුමයකි.


මල් බඳුණේ මල් නැත. ජලයද නැත. වියළි දඬු කිහිපයක් පමණක් එහි තිබූ අතර කළු පැහැව පරවී ගිය අරලිය මල් පෙති මේසය පුරා විසිරී තිබුණි...

මම යළිත් බණ්ඩාර මාමා දෙසට හැරුණේ අවුල් වූ මනසකින් බව මට වැටහුණේය.


" එතකොට මානසී...?. " 


" අනේ ඒ දැරිවි අර මහ පස් කන්දට......! "

යළිත් හඬමින් ඔහු හඬ අවදි කළේය.

" පැය ගානක් ගියාට පස්සෙ හැමෝම එක්ක පස් අයින් කරද්දී දැරිවිව හොයාගත්තා."


 "ඒත්... ඒත් ඒ වෙනකොටත් දැරිවි මේ ලෝකෙන් සදහටම යන්න ගිහින්. මිණිය හොයාගද්දිත් ඒ දැරිවිගෙ අතේ තිබුණේ පන්සලට ගෙනියන්න කඩාපු....

**සුදු අරලිය මල් පොකුරක්.....!** "



--- නිමි ---




( 2016 නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම කෙටි කතා ත්‍රිත්වයට නිර්දේශිත වූ දුමීගේ නිර්මාණයක්... )


Saturday, 11 May 2024

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )


 .

.

සලා සිනහව රඟන මොහොතක 

                     හදේ ගැඹුරුම තැනක රැඳුණා

කලා පොකුණම සුවඳවත් කර 

                ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා

වලාකුළකින් මිදුණු සඳවත 

                       පරදනා රුව මතකෙ මැවුණා

වෙලාගත් මගෙ හැගුම් සෙනෙහස

                       කවිකමක් වී මෙසේ තැබුණා...

.


මවන ඉඟි බිඟි දෙනෙත කඩිසර 

                 මුවැත්තිය ලෙස නිතර පෙනුණී

වචන ගළපන අපූරුවනම් 

                        ඉස්තරම් බව කියමි බැතිනී

තිබෙන මතකය හැඩයි රංගන 

                        දීගෙ බක් මහ දසුන් මැවුණී 

ලබන හැම දින "සේරසිංහ"ය, 

                 ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී...

.


.


(  ශ්‍රී ලාංකේය කලාකෙත අස්වැද්දූ සම්මානනීය නිළි මාතාව,

 " අයිරාංගනී සේරසිංහ මැතිණියට " දුමීගෙන් පිදෙන හෘදයාංගම උත්තමාචාරයයි මේ... !!! )


--- දුමී ---.

Saturday, 4 May 2024

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).


 .

ඔයාට මතකද ?

ආදරේ පාට මොකද්ද කියළා...

දවසක් ඔයා මගෙන් ඇහුවා.

ඒ වෙලාවෙ... 

මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා.

"කෝපී.?.." කියළා...

මගේ උරහිසට ඔලුව බරකරගෙන ඔයා කිව්වේ... 

තව තවත් මට තුරුළුවෙන ගමන්.

ඔව්.

ආදරේ පාට... කෝපි පාට..!

මන්දාරම් හැන්දෑවේ...

වැහි බිංඳු එකින් එක, 

ජනෙල් වීදුරු තෙමාගෙන ඇදී යද්දී...

නිස්කලංක කාමරයේ, 

ඉටිපහන් එලිය...

යාන්තමින් අඳුර මකාගෙන පැතිරෙද්දී...

හිතක...

ප්‍රේමණීය හැඟුම් පුබුදුවන්නට තරම්, 

පානයක් තියෙනවනම්. 

ඒ...

උණුම උණු, කෝපි කෝප්පයක්ම තමයි. 

ඒකටම හරියන...

ඔයාගෙන් කම්මුලට ලැබුණු හාදුවේ රස්නය...

ඉතින් මැණික...

ආදරේ පාට, කෝපි පාට කියන්න

තව මොකටද හේතු සාධක. 

එදා වගෙම අදත්...

ඒ මන්දාරමමයි.

හිරිගඩු නලියන, ඒ සීතල වැහි බිංදුමයි.

කිසිම සද්දයක් නැති, පාළු අඳුරු නවාතැනමයි.

ආදරේ මතක අවුස්සන... 

තනිකමයි මමයි අතරේ... 

ඔයා එනකන් මග බලාගෙන ඉන්න...

ආදරයේ පාට රැඳුණු...

අපෙ ආදර කෝපි කෝප්පය,

තාම රස්නෙයි මැණික...


--- දුමී ---

Saturday, 27 April 2024

උඹ කවදද පණ විලසම මගෙ අසළින් දැවටෙන්නේ...( ශනිදා රෑ දහයට XXIX)

 .


.

.

සිඹ අවටද එන සිසිලම 

             මඳ සුළඟින් පැතිරෙන්නේ

තඹ පැහැයද ගෙන සුවයම 

            වැලි පලසින් මතුවෙන්නේ 

සුබ පැතුමද දැන රහසෙම 

          රතු ඇඳුමෙන්  සැරසෙන්නේ

උඹ කවදද පණ විලසම 

            මගෙ අසළින් දැවටෙන්නේ...


මෙය තරංග කවියකට නිර්මාණය වූවක්. 

කියවා හිසරදය නොසෑදෙන අයත් කවිය රසවිඳිය හැකි අයත් මෙයින් ලියූ තරංග  කවි  බලත්වා...😀

.

සේයාරුව ඉශන්කා අබේසේකරයන්ගේ මුහුණු පොතෙන්.


.

(1)

සිඹ අවටද එන සිසිලම 

             මඳ සුළඟින් පැතිරෙන්නේ

තඹ පැහැයද ගෙන සුවයම 

            වැලි පලසින් මතුවෙන්නේ 

සුබ පැතුමද දැන රහසෙම 

          රතු ඇඳුමෙන්  සැරසෙන්නේ

උඹ කවදද පණ විලසම 

            මගෙ අසළින් දැවටෙන්නේ...


 (2)

සිඹ අවටද එන සිසිලම 

           පැතිරෙන්නේ මඳ සුළඟින් 

තඹ පැහැයද ගෙන සුවයම 

          මතුවෙන්නේ වැලි පලසින්  

සුබ පැතුමද දැන රහසෙම 

        සැරසෙන්නේ රතු ඇඳුමෙන්  

උඹ කවදද පණ විලසම 

          දැවටෙන්නේ මගෙ අසළින් ...


 (3)

සිඹ අවටද මඳ සුළඟින් 

            එන සිසිලම  පැතිරෙන්නේ

තඹ පැහැයද වැලි පලසින් 

          ගෙන සුවයම  මතුවෙන්නේ 

සුබ පැතුමද රතු ඇඳුමෙන් 

         දැන රහසෙම   සැරසෙන්නේ

උඹ කවදද මගෙ අසළින් 

             පණ විලසම  දැවටෙන්නේ...


 (4)

සිඹ අවටද මඳ සුළඟින් 

         පැතිරෙන්නේ එන සිසිලම  

තඹ පැහැයද වැලි පලසින් 

        මතුවෙන්නේ ගෙන සුවයම   

සුබ පැතුමද රතු ඇඳුමෙන් 

        සැරසෙන්නේ දැන රහසෙම   

උඹ කවදද මගෙ අසළින් 

           දැවටෙන්නේ පණ විලසම...


(5)

සිඹ අවටද පැතිරෙන්නේ 

           එන සිසිලම මඳ සුළඟින් 

තඹ පැහැයද මතුවෙන්නේ 

       ගෙන සුවයම වැලි පලසින්  

සුබ පැතුමද සැරසෙන්නේ 

     දැන රහසෙම රතු ඇඳුමෙන්  

උඹ කවදද දැවටෙන්නේ 

       පණ විලසම මගෙ අසළින් ...


(6)

සිඹ අවටද පැතිරෙන්නේ 

             මඳ සුළඟින් එන සිසිලම 

තඹ පැහැයද මතුවෙන්නේ 

          වැලි පලසින් ගෙන සුවයම   

සුබ පැතුමද සැරසෙන්නේ 

        රතු ඇඳුමෙන් දැන රහසෙම   

උඹ කවදද දැවටෙන්නේ 

           මගෙ අසළින් පණ විලසම...


(7)

එන සිසිලම සිඹ අවටද 

          මඳ සුළඟින් පැතිරෙන්නේ

ගෙන සුවයම තඹ පැහැයද 

          වැලි පලසින් මතුවෙන්නේ 

දැන රහසෙම සුබ පැතුමද 

        රතු ඇඳුමෙන්  සැරසෙන්නේ

පණ විලසම උඹ කවදද 

          මගෙ අසළින් දැවටෙන්නේ...


 (8)

එන සිසිලම සිඹ අවටද 

              පැතිරෙන්නේ මඳ සුළඟින් 

ගෙන සුවයම තඹ පැහැයද 

              මතුවෙන්නේ වැලි පලසින්  

දැන රහසෙම සුබ පැතුමද 

             සැරසෙන්නේ රතු ඇඳුමෙන්  

පණ විලසම උඹ කවදද 

              දැවටෙන්නේ මගෙ අසළින් ...


(9)

එන සිසිලම මඳ සුළඟින් 

             සිඹ අවටද  පැතිරෙන්නේ

ගෙන සුවයම වැලි පලසින් 

          තඹ පැහැයද  මතුවෙන්නේ 

දැන රහසෙම රතු ඇඳුමෙන් 

           සුබ පැතුමද   සැරසෙන්නේ

පණ විලසම මගෙ අසළින් 

               උඹ කවදද  දැවටෙන්නේ...


(10)

එන සිසිලම මඳ සුළඟින් 

              පැතිරෙන්නේ සිඹ අවටද  

ගෙන සුවයම වැලි පලසින් 

           මතුවෙන්නේ තඹ පැහැයද   

දැන රහසෙම රතු ඇඳුමෙන් 

            සැරසෙන්නේ  සුබ පැතුමද   

පණ විලසම මගෙ අසළින් 

                දැවටෙන්නේ උඹ කවදද  ...


(11)

එන සිසිලම පැතිරෙන්නේ 

                සිඹ අවටද මඳ සුළඟින් 

ගෙන සුවයම මතුවෙන්නේ 

           තඹ පැහැයද වැලි පලසින්  

දැන රහසෙම සැරසෙන්නේ 

           සුබ පැතුමද රතු ඇඳුමෙන්  

පණ විලසම දැවටෙන්නේ 

              උඹ කවදද මගෙ අසළින් ...


(12)

එන සිසිලම පැතිරෙන්නේ 

               මඳ සුළඟින් සිඹ අවටද 

ගෙන සුවයම මතුවෙන්නේ 

          වැලි පලසින් තඹ පැහැයද 

දැන රහසෙම සැරසෙන්නේ 

           රතු ඇඳුමෙන් සුබ පැතුමද 

පණ විලසම දැවටෙන්නේ 

               මගෙ අසළින් උඹ කවදද ...


(13)

මඳ සුළඟින් සිඹ අවටද 

            එන සිසිලම පැතිරෙන්නේ

වැලි පලසින් තඹ පැහැයද 

           ගෙන සුවයම මතුවෙන්නේ 

රතු ඇඳුමෙන් සුබ පැතුමද 

          දැන රහසෙම  සැරසෙන්නේ

මගෙ අසළින් උඹ කවදද 

             පණ විලසම දැවටෙන්නේ...


(14)

මඳ සුළඟින් සිඹ අවටද 

              පැතිරෙන්නේ එන සිසිලම 

වැලි පලසින් තඹ පැහැයද 

            මතුවෙන්නේ ගෙන සුවයම  

රතු ඇඳුමෙන් සුබ පැතුමද 

            සැරසෙන්නේ දැන රහසෙම  

මගෙ අසළින් උඹ කවදද 

              දැවටෙන්නේ පණ විලසම ...


(15)

මඳ සුළඟින් එන සිසිලම 

               සිඹ අවටද පැතිරෙන්නේ

වැලි පලසින් ගෙන සුවයම 

           තඹ පැහැයද  මතුවෙන්නේ 

රතු ඇඳුමෙන් දැන රහසෙම 

            සුබ පැතුමද  සැරසෙන්නේ

මගෙ අසළින් පණ විලසම 

                උඹ කවදද දැවටෙන්නේ...


(16)

මඳ සුළඟින් එන සිසිලම 

                 පැතිරෙන්නේ සිඹ අවටද 

වැලි පලසින් ගෙන සුවයම 

               මතුවෙන්නේ තඹ පැහැයද   

රතු ඇඳුමෙන් දැන රහසෙම

                සැරසෙන්නේ සුබ පැතුමද  

මගෙ අසළින් පණ විලසම 

                   දැවටෙන්නේ උඹ කවදද ...


(17)

මඳ සුළඟින් පැතිරෙන්නේ 

                 සිඹ අවටද එන සිසිලම 

වැලි පලසින් මතුවෙන්නේ 

          තඹ පැහැයද ගෙන සුවයම  

රතු ඇඳුමෙන් සැරසෙන්නේ

            සුබ පැතුමද දැන රහසෙම  

මගෙ අසළින් දැවටෙන්නේ

                  උඹ කවදද පණ විලසම ...


(18)

මඳ සුළඟින් පැතිරෙන්නේ

                එන සිසිලම සිඹ අවටද 

වැලි පලසින් මතුවෙන්නේ 

          ගෙන සුවයම තඹ පැහැයද  

රතු ඇඳුමෙන් සැරසෙන්නේ 

            දැන රහසෙම සුබ පැතුමද 

මගෙ අසළින් දැවටෙන්නේ 

                 පණ විලසම උඹ කවදද  ...


(19)

පැතිරෙන්නේ සිඹ අවටද 

               එන සිසිලම මඳ සුළඟින් 

මතුවෙන්නේ තඹ පැහැයද 

           ගෙන සුවයම වැලි පලසින්  

සැරසෙන්නේ සුබ පැතුමද

         දැන රහසෙම රතු ඇඳුමෙන්  

දැවටෙන්නේ උඹ කවදද 

            පණ විලසම මගෙ අසළින් ...


(20)

පැතිරෙන්නේ සිඹ අවටද 

                මඳ සුළඟින් එන සිසිලම 

මතුවෙන්නේ තඹ පැහැයද 

             වැලි පලසින් ගෙන සුවයම   

සැරසෙන්නේ සුබ පැතුමද 

            රතු ඇඳුමෙන් දැන රහසෙම   

දැවටෙන්නේ උඹ කවදද 

              මගෙ අසළින් පණ විලසම  ...


(21)

පැතිරෙන්නේ එන සිසිලම 

                   සිඹ අවටද මඳ සුළඟින් 

මතුවෙන්නේ ගෙන සුවයම 

              තඹ පැහැයද වැලි පලසින්  

සැරසෙන්නේ දැන රහසෙම 

              සුබ පැතුමද රතු ඇඳුමෙන්  

දැවටෙන්නේ පණ විලසම 

                  උඹ කවදද මගෙ අසළින් ...


(22)

පැතිරෙන්නේ එන සිසිලම

                     මඳ සුළඟින් සිඹ අවටද 

මතුවෙන්නේ ගෙන සුවයම 

                වැලි පලසින් තඹ පැහැයද   

සැරසෙන්නේ දැන රහසෙම

                 රතු ඇඳුමෙන් සුබ පැතුමද   

දැවටෙන්නේ පණ විලසම 

                    මගෙ අසළින් උඹ කවදද  ...


(23)

පැතිරෙන්නේ මඳ සුළඟින් 

                  සිඹ අවටද එන සිසිලම  

මතුවෙන්නේ වැලි පලසින් 

            තඹ පැහැයද ගෙන සුවයම  

සැරසෙන්නේ රතු ඇඳුමෙන්  

              සුබ පැතුමද දැන රහසෙම 

දැවටෙන්නේ මගෙ අසළින් 

                   උඹ කවදද පණ විලසම...


(24)

පැතිරෙන්නේ මඳ සුළඟින් 

                  එන සිසිලම සිඹ අවටද   

මතුවෙන්නේ වැලි පලසින් 

            ගෙන සුවයම තඹ පැහැයද   

සැරසෙන්නේ රතු ඇඳුමෙන්  

             දැන රහසෙම සුබ පැතුමද  

දැවටෙන්නේ මගෙ අසළින් 

                  පණ විලසම උඹ කවදද ...


--- දුමී ---

Saturday, 20 April 2024

නමක් නැතිවූ සබඳකම් ගැන කියා දෙන්නේ අපට කවුරූ... (ශනිදා රෑ දහයට XXVIII ).


 .

ළඟක නැතිමුත් නිතර නොදැකම 

                  සෙනෙහෙ ලියලයි විලස ළදළූ

හිතක බරටම මතක් වනවිට 

                      රුවම සොයනව අවට මිදුළූ

ගඟක ඉවුරක දෙපස රැඳුණත් 

                        හුදෙකලාවම උණන කඳුළූ

අතක දුරකින් විඳින්නට වෙද 

                 උරුමයන් නැති  සොඳුරු මුකුළූ...


මලක් විලසට රකින්නට බොහො 

                           සිහින දුටුවත් නිතර රුසිරූ

හඳක් කිසි දින අයිතිවන්නෙද 

                               හිතේ ඇඳුනද ප්‍රේම පිළිරූ

පවක් හෝ එය පිනක් වන බව 

                        කියනු බෑ එයි සුසුම් පොකුරූ

නමක් නැතිවූ සබඳකම් ගැන 

                             කියා දෙන්නේ අපට කවුරූ... 


--- දුමී ---


Saturday, 13 April 2024

ඉතින් පොඩ්ඩක් හිනාවී මට තවත් වෙනවද ටිකක් කිට්ටූ... ( ශනිදා රෑ දහයට XXVII )

 

.

සුළං තාලෙට සැලෙන අතු අග

                      නටන එරබදු පුංචි පොට්ටූ

බලන් ඉන්නව හැඩ මවන්නට

                     උඹේ නළලේ රතට මොට්ටූ

දුවන් ඇවිදින් බිමින් ඉඳගෙන

            තියා බොරුවට කොතෙක් ඔට්ටූ

ඉතින් පොඩ්ඩක් හිනාවී මට

                   තවත් වෙනවද ටිකක් කිට්ටූ 


ළඟින් නිතරම ඉඟි කරද්දී 

                   වටපිටාවෙන් හැදෙයි කේලම්

ගනන් නොගෙනම ඔහොම හිටපන්

           ශක්තිමත් වෙයි සෙනෙහෙ පාලම්

හදින් හදකට හැඟුම් උපදින 

                        වසත් සමයේ රටා කෝලම්

අතින් පටලන් වර්ණ තවරමු

                   මොකද කලබල නගේ "නීලම්"


රබන් සද්දෙට තාල දීගෙන 

              රඟයි කෙවිළිය කොහා ජෝඩූ

අහන්නටමයි හිතෙන්නේනම්

                        හදන්නලු උන් අපිට කූඩූ 

බලන් ඉන්නට බෑ වගේ තව

                      අරන් එන්නද මාල තෝඩූ

වරෙන් ඩිංගක් කියා දෙන්නට

           උඹේ නමටම සෙනෙහෙ කෝඩූ...

                     

--- දුමී ---

Saturday, 6 April 2024

ළඟට එද්දිම හුස්ම හිර වෙන මටත් තිබුණනෙ ප්‍රේමයක්....(ශනිදා රෑ දහයට XXVI)

 .



ඇහැට දකිනට නිතර හොය හොය 

                                        කඳුළු පිබිදූ කාලයක්

හිතට වදදී සිනහ තවරා 

                                      වචන මිමිණූ තාලයක් 

පනට පන සේ දුක සතුට දෙක 

                             බෙදාගත් බොහො වාරයක්

ළඟට එද්දිම හුස්ම හිර වෙන 

                              මටත් තිබුණනෙ ප්‍රේමයක්...

.


සොයා ආ දින පිපුණු මල මත 

                                රැඳුණෙ ලස්සන සායමක්

නොයා දුරකට රැදෙමි හිතුවට 

                                  උරුම වුනෙ දුක් පාඩමක්

එයා දැක්කම හිතම නිවිලා 

                            හැදුනෙ සෙනෙහස් පාලමක්

කියා ගන්නට හැඟුම් තිබිලත් 

                             ගොතන්නට බැහැ නෑකමක්

.


දුරින් හිටියත් ගෙවූ දිනයන් 

                                  මතක සැමරුම් කෝටියක්

ඔබෙන් ලැබුවෙමි කියා මිලකල 

                                    නොහැකි තරමේ ආලයක්

හිතින් ළංවී අතින් ගිළිහෙන 

                                       සබඳකම් පිරි ලෝකයක්

එවන් තැන අප මුණ ගැසීමත් 

                                       වාවගනු බැරි ශෝකයක්...


--- දුමී ---

Saturday, 30 March 2024

හැඩ දමමින් හැදූ - වයින් රසය බලමුද සුදූ... ( ශනිදා රෑ දහයට XXV )


 .

හැඩ දමමින් හැදූ...

වයින් රසය බලමුද සුදූ...


( දේශිය මාදං වයින් )


යීස්ට් අරගෙන 

මේස හැඳි දෙකකුත් මැන

සීනි ටිකකුත් ගෙන

එක් කරනු එය දැන් සතුටින


දිය රත් කරලා

කෝප්පය ගෙන මැනලා

හරි අඩක් බෙදලා

දමනු එයට සිනහ වීලා


මෙය හැඳි ගාලා

අඩ පැය අඩක් වහලා

පිපෙන්නට තියලා

කියමු සින්දු ‍රසය මවලා


මාදං පොඩිකර

එක්කර වතුර ලීටර

ඉන් ඇටත් විසිකර

ගන්න යුෂත් රසය සිහිකර


එක්කර සීනිද

පෙර යීස්ට් මිශ්‍රණේ ද

රස්නෙ වූ වතුරද

දමාගෙන හැඳි ගා ගනිමුද


වියලා අරගත්

වීදුරු අසුරණ ගෙනත්

ඉන් උපරිම ලෙසත්

පුරව ගනු මිශ්‍රණය දැන්වත්


කුරුඳු කැබැල්ලක්

දැමුවම තිබේ රසයක්

රැගෙන සුදු රෙද්දක්

වසා ගෙන හිනැහෙනු මොහොතක්  


එපා සොලවන්න

දින දහයක්ම තබන්න

මහන්සිය හිතන්න

ෆෝන් අරගෙන කවි ලියන්න


ඉන් පසුත් රැගෙන

සොලවා තබා එම තැන

මාසයක් ගිය දින

පෙරල ගනු නව බෝතල් මැන


නෙත ගත් පැහැයක්

සමඟින් අමුතු සුවඳක්

දැන් නැහැ ඉවසුමක්

බලා ගනු දැන් හොඳ රසයක්


ළඟයි අවුරුදූ

පිපී නටන එරබඳූ

හැඩ දමමින් හැදූ

වයින් රසය බලමුද සුදූ


අපගේම දෙයින්

හොඳ ‍රසයක් ඇති වයින්

බොමුද සුදූ එයින්

යන්න හිත නැහැනෙ මට ගෙයින්....


( කාරිකා ගී විරිතට ගත් උත්සාහක් )


--- දුමී ---


ස්තූතිය :

වට්ටෝරුව සහ සේයාරුව ලබාදුන්

 " තිලාගෙ කෑම පිටුව " හිමිකාරිණී තිලානි විතානගේ මහත්මියට .

Saturday, 23 March 2024

සොඳුරු නමින්නේ හිඳින්නේ ළඟම රැඳෙන්නේ.... ( ශනිදා රෑ දහයට XXIV )

 

.

දෙනෙත හෙළයිලූ   බලයිලූ    හිත සනසයිලූ

        අඩිය තියයිලූ   නටයිලූ     ඉඟ නළවයිලූ 

     සිනහ නඟයිලූ    රවයිලූ       එය කදිමයිලූ

        හදම තවයිලූ    දවයිලූ   නුඹ මගෙමයිලූ


   අඳුරු වෙමින්නේ    ගලන්නේ             සිසිල සැදෙන්නේ

මැදුරු නොවන්නේ   බෙදන්නේ            සතුට දැනෙන්නේ

    කිඳුරු රඟන්නේ   පිරෙන්නේ   සෙනෙහෙ මැවෙන්නේ 

 සොඳුරු නමින්නේ     හිඳින්නේ            ළඟම රැඳෙන්නේ


--- දුමී ---


තුරඟරඟ විරිත - තෙනෙත් චන්දස

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...