Saturday 13 April 2024

ඉතින් පොඩ්ඩක් හිනාවී මට තවත් වෙනවද ටිකක් කිට්ටූ... ( ශනිදා රෑ දහයට XXVII )

 

.

සුළං තාලෙට සැලෙන අතු අග

                      නටන එරබදු පුංචි පොට්ටූ

බලන් ඉන්නව හැඩ මවන්නට

                     උඹේ නළලේ රතට මොට්ටූ

දුවන් ඇවිදින් බිමින් ඉඳගෙන

            තියා බොරුවට කොතෙක් ඔට්ටූ

ඉතින් පොඩ්ඩක් හිනාවී මට

                   තවත් වෙනවද ටිකක් කිට්ටූ 


ළඟින් නිතරම ඉඟි කරද්දී 

                   වටපිටාවෙන් හැදෙයි කේලම්

ගනන් නොගෙනම ඔහොම හිටපන්

           ශක්තිමත් වෙයි සෙනෙහෙ පාලම්

හදින් හදකට හැඟුම් උපදින 

                        වසත් සමයේ රටා කෝලම්

අතින් පටලන් වර්ණ තවරමු

                   මොකද කලබල නගේ "නීලම්"


රබන් සද්දෙට තාල දීගෙන 

              රඟයි කෙවිළිය කොහා ජෝඩූ

අහන්නටමයි හිතෙන්නේනම්

                        හදන්නලු උන් අපිට කූඩූ 

බලන් ඉන්නට බෑ වගේ තව

                      අරන් එන්නද මාල තෝඩූ

වරෙන් ඩිංගක් කියා දෙන්නට

           උඹේ නමටම සෙනෙහෙ කෝඩූ...

                     

--- දුමී ---

8 comments:

  1. +++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. වැට කඩුළු තිබුනත් බිදිය නොහැකි ආලය.
      හදවතින්ම ස්තූතිය ප්‍රාජේ.
      ජයවේවා !!!

      Delete
  2. නිර්මාණ කටයුත්තක් සදහා ඔබේ නිර්මාණ උපුටා ගැනීමට කැමැත්තෙන් ඉන්නවා. මට ඔබ ඇමතිය හැකි නොම්මරය සහ පහසු වෙලාව දන්වා ahasgawwa1@gmail.com ට විද්‍යුත් ලිපියක් එවන්න. ඉක්මන් ප්‍රතිචාරයක් බලාගෙන ඉන්නවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ස්තූතිය ගොඩක් ඔබට අනුරුද්ධ . මම එව්වා.
      ජයවේවා !!!

      Delete
  3. ලස්සන පැදි පෙලක් දුමි.
    ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! ඒ සමගම පැදි පෙලට මගෙනුත් පැදියකින්ම ප්‍රතිචාරයක් මෙන්න.


    දුටුව විගසම දුමිගෙ පැදි පෙළ මටත් අදහස් පහල වූවේ
    තවම නැත්තේ මොකද සොඳුරිය සමග එක නිවසකට නාවේ
    උඩින් පල්ලෙන් ආදරය කර හැඟුම් උඩු ගුවනෙහිම පාවේ
    පතන්නෙමි නව වසරෙ ඔබහට ‘මල්සරා’ දෙවිඳුන්ගෙ සේවේ !


    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවියක් ඒකත්.
      සුබ සුව අලුත් අවුරුද්ද ක් වේවා ඔබ තුමාටත්.
      ස්තූතිය ගොඩක් ....
      ජයවේවා !!!

      Delete
  4. මේ පැදිපෙලට කොමන්ට් එකක් දාන්න ගොඩවෙනවා ඒත් නැවත නැවත් කියවා නිකම්ම යනවා, කෙතැනින් පටන් ගෙන මොනවා ලියන්න ද හිතාගන්න බැහැ. එතරමට පැදිපෙ සුපිරියි දුමී.

    පදපෙල සංකේත වලින් වෑහෙනවා, ඉන් එරබදු - මොට්ටුව, රටා - කෝලම් චවන ගැලපීම් වලින් සකසන වට පිටාව හරිම අලංකාරයි. ඒ වගේම හිත ගත් දෙයක් තමයි කෙවිළිය කොහා හදන කූඩුව, එය නිර්වවන කරන්නේ නැහැ ව්‍යාංගය කවිය තවත් රස කරනවා වගේම ඒ රස මතුකර විඳගන්න ඉඩ තියනවා. සුපිරි පද එකතුවක් වින්ඳෙමි, ජය!

    ReplyDelete
    Replies
    1. වටිනව මේ අදහස්.
      ස්තූතිය ගොඩක් අයියේ ....
      ජයවේවා !!!

      Delete

උඹ කවදද පණ විලසම මගෙ අසළින් දැවටෙන්නේ...( ශනිදා රෑ දහයට XXIX)

 . . . සිඹ අවටද එන සිසිලම               මඳ සුළඟින් පැතිරෙන්නේ තඹ පැහැයද ගෙන සුවයම              වැලි පලසින් මතුවෙන්නේ  සුබ පැතුමද දැන රහසෙම  ...