Saturday 30 March 2024

හැඩ දමමින් හැදූ - වයින් රසය බලමුද සුදූ... ( ශනිදා රෑ දහයට XXV )


 .

හැඩ දමමින් හැදූ...

වයින් රසය බලමුද සුදූ...


( දේශිය මාදං වයින් )


යීස්ට් අරගෙන 

මේස හැඳි දෙකකුත් මැන

සීනි ටිකකුත් ගෙන

එක් කරනු එය දැන් සතුටින


දිය රත් කරලා

කෝප්පය ගෙන මැනලා

හරි අඩක් බෙදලා

දමනු එයට සිනහ වීලා


මෙය හැඳි ගාලා

අඩ පැය අඩක් වහලා

පිපෙන්නට තියලා

කියමු සින්දු ‍රසය මවලා


මාදං පොඩිකර

එක්කර වතුර ලීටර

ඉන් ඇටත් විසිකර

ගන්න යුෂත් රසය සිහිකර


එක්කර සීනිද

පෙර යීස්ට් මිශ්‍රණේ ද

රස්නෙ වූ වතුරද

දමාගෙන හැඳි ගා ගනිමුද


වියලා අරගත්

වීදුරු අසුරණ ගෙනත්

ඉන් උපරිම ලෙසත්

පුරව ගනු මිශ්‍රණය දැන්වත්


කුරුඳු කැබැල්ලක්

දැමුවම තිබේ රසයක්

රැගෙන සුදු රෙද්දක්

වසා ගෙන හිනැහෙනු මොහොතක්  


එපා සොලවන්න

දින දහයක්ම තබන්න

මහන්සිය හිතන්න

ෆෝන් අරගෙන කවි ලියන්න


ඉන් පසුත් රැගෙන

සොලවා තබා එම තැන

මාසයක් ගිය දින

පෙරල ගනු නව බෝතල් මැන


නෙත ගත් පැහැයක්

සමඟින් අමුතු සුවඳක්

දැන් නැහැ ඉවසුමක්

බලා ගනු දැන් හොඳ රසයක්


ළඟයි අවුරුදූ

පිපී නටන එරබඳූ

හැඩ දමමින් හැදූ

වයින් රසය බලමුද සුදූ


අපගේම දෙයින්

හොඳ ‍රසයක් ඇති වයින්

බොමුද සුදූ එයින්

යන්න හිත නැහැනෙ මට ගෙයින්....


( කාරිකා ගී විරිතට ගත් උත්සාහක් )


--- දුමී ---


ස්තූතිය :

වට්ටෝරුව සහ සේයාරුව ලබාදුන්

 " තිලාගෙ කෑම පිටුව " හිමිකාරිණී තිලානි විතානගේ මහත්මියට .

Saturday 23 March 2024

සොඳුරු නමින්නේ හිඳින්නේ ළඟම රැඳෙන්නේ.... ( ශනිදා රෑ දහයට XXIV )

 

.

දෙනෙත හෙළයිලූ   බලයිලූ    හිත සනසයිලූ

        අඩිය තියයිලූ   නටයිලූ     ඉඟ නළවයිලූ 

     සිනහ නඟයිලූ    රවයිලූ       එය කදිමයිලූ

        හදම තවයිලූ    දවයිලූ   නුඹ මගෙමයිලූ


   අඳුරු වෙමින්නේ    ගලන්නේ             සිසිල සැදෙන්නේ

මැදුරු නොවන්නේ   බෙදන්නේ            සතුට දැනෙන්නේ

    කිඳුරු රඟන්නේ   පිරෙන්නේ   සෙනෙහෙ මැවෙන්නේ 

 සොඳුරු නමින්නේ     හිඳින්නේ            ළඟම රැඳෙන්නේ


--- දුමී ---


තුරඟරඟ විරිත - තෙනෙත් චන්දස

Saturday 16 March 2024

ලබන භවයක රත්තරන් උඹ මගෙම වූවොත් ....... ....... !!! (ශනිදා රෑ දහයට XXIII )

 .

.

පැතිර හැම තැන හුදෙකලාවම පාළු බවකුත් හොඳින් දැනුණා 

අතර අහසත් දූලි පොලවත් බිංදු මල් වැහි හෙමින් වැටුණා 

නිතර නොදැකපු එහෙත් දිනයක නෙතට හුරුවූ රුවක් පෙනුණා

අතැර යන බව සිහිවුණානම් හමු නොවී අපි ඉන්න තිබුණා


හෙලන සුසුමක වැටෙන කඳුළක අයිතිකාරිය නමින් රැඳුණා 

රිදෙන තරමට නොරිද්දෙන්නට පපුවෙ උණුහුම වචන කෙරුණා 

දැවෙන මේ සිත නිවා සනහන මියුරු කවි පද නිතර ඇසුණා

පරණ වූ මුත් සොඳුරු මතකය තව තවත් දළු දමා වැඩුණා


දෙදෙන ආගිය පුරුදු තැන් ළඟ මලානික ඇස් නතර කෙරුණා 

රිදෙන මතකය වේදනාවන් දෙමින් පපුවේ බරට ඇනුණා

පරන පවකට අතරමගදී සෙනෙහෙ කුසුමන් පරව වැටුණා 

ලබන භවයක රත්තරන් උඹ මගෙම වූවොත් .......  .......  !!!


--- දුමී ---

Saturday 9 March 2024

වැහි දෙවිඳුනේ ඔබෙ කරුණා අයදින්නේ ( ශනිදා රෑ දහයට XXII )


 .

රත් පැහැ සළුව ගිණියම් වත මත   පටලා

මත් හිරු දෙවිඳු පෙරදිග අහසට     වැඩලා

අත් වන ඉරණමක පෙර සළකුණු   දැකලා

පත් නැති තුරු අරටු වැළපෙයි දුක   කියලා


කිරි උතුරවා දෙවියන් ළඟ හිස          නමලා

දිරි ගොවි රජුන් වැඩ අරඹයි දුක    නොබලා 

පිරි අරමුණක් හිත පතුලෙම සිර        කරලා

ඉරි රැඳි පොළොව හිනැහෙයි සරදම් මවලා


අඳුරු වලා පාවී යයි නැහැ                 රැඳුණේ

පිදුරු ලෙසින් පැල ගොයමද පැහැ බැඳුණේ

රුදුරු සුළඟ සරු වී දිය බිඳු               සිඳුණේ

සොඳුරු අනාගතයක පැතුමන්         බිඳුණේ


ඇහි පිල්ලමක් යට කඳුළැලි        නලියන්නේ

එහි තෙතනනය කෝ හදවත  වැලපෙන්නේ

නැහි නැහි උපදිනා සුසුමන්    වෙනුවෙන්නේ

වැහි දෙවිඳුනේ ඔබෙ කරුණා       අයදින්නේ


--- දුමී ---

Saturday 2 March 2024

කවුරු බැන්නත් කොළඹ අහසම ප්‍රේමණීයයි වාසනාවයි ..( ශනිදා රෑ දහයට XXI )


ඕලු කුසුමක සුවඳ විලවුන් දැනී මත්වෙන හැම වෙලාවක

නෑලු අමතක දෙදෙන එක්වී සිහින අමුණපු හැඩ රටාවක

පාලු තනිකම වෙලී ආවත් සුසුම කඳුළක දුක් කතාවක

ගාලු මුවදොර අසුන මතකද සෙනෙහෙ ගැළපූ පෙර සැඳෑවක


විසල් මන්දිර අතර මග දිග ඇවිද ගිය තැන් රූ මවාලයි

මුදල් මත්තෙම රැඳුණු ජීවිත පහසු නිදහස ගෙවු මනාවයි

දවල් උදයේ සේම රැයකද නොනිදි පුරවර  දුන් සිනාවයි

සිසිල් වන්නෙමි ආදරේ ළඟ හිරුද කොළඹට දුන් ඉනාවයි 


පවුරු මායිම් වැට කඩුලු නැත හිතක් ගිය තැන මාළිඟාවයි

සයුරු සුළඟේ නැගෙන තනුවෙන් දුක තුනී වෙන කාරණාවයි

නුහුරු නුපුරුදු වුවද අතහැර යන්න හිතුවත් වේදනාවයි

කවුරු බැන්නත් කොළඹ අහසම ප්‍රේමණීයයි වාසනාවයි ..


--- දුමී --

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...