Saturday 21 October 2023

කවි කොස් ඇට අග්ගලා - කන්න එන්න ළංවෙලා......( ශනිදා දහයට )

 


(  ඳුවඟ ගී විරිතට කරනලද නිර්මාණයක්  )


ඳුවඟ ගී විරිතට

පද ගළපලා රසයට

කඩ කෑම වස වෙනුවට

අපි අග්ගල හදමු ගුණයට


වැටෙන මේ වැස්සේ

සීතලෙන් හිත ගැස්සේ

අග්ගල රසය ඔස්සේ

කන්න එන්න දවස තිස්සේ


කොස් ඇට තම්බලා

නැතිනම් ගෙන පුච්චලා

පොතුටික ඉන් වෙන්කලා

බලන්න එනවද ළංවෙලා


පසුව එය අරගෙන

බඳුනක් රැගෙන දමමින

පදමකට පොඩි කරමින

කියමුද ගී  මෙමා සමගින


ගාගත් පොල් ගනූ

හැන්දක් එක්කර ලුණූ

සීනිද යහමින් දෙනූ

අනමින් තව පොඩ්ඩක් කනූ


ගම්මිරිසුත් ටිකක්

තලා දැම්මොතින් සැරක්

එක් වෙනවා හොඳ රසක්

ඉවසා ඉන්නට බැහැ ගොඩක්


කොස් මිශ්‍රණේ අරන්

මීට හොදින් එක් කරන්

දැන් එයි සුවඳක් පෙරන්

ඉන්නෙ ඇයිද ඔය කට ඇරන්


ටික ටික ගුලිකලා

‍බෝල ලෙසට හැඩවෙලා

කෙසෙල් කොලේ නැලවිලා

කොස් ඇට අග්ගල හිනැහිලා


ඉඟුරු ටිකක් තලා

කහට එකට මුසු කලා

පෙරේත කම වැඩි වෙලා

ඉන්නෙ ඇයිද දැන් බල බලා


සවසක ළංකරන්

නොකා ඉතින් මක්කරන්

එන්න මගේ රත්තරන්

කමුද ආලෙ අපෙ එක්කරන්


මෙහි හොඳ ගුණමලූ

කඩේ ගන්න නැහැමලූ

මුදල් අතේ රැඳිලලූ

අපේ ආලෙ තව වැඩිලලූ....


--- දුමී ---

31 comments:

  1. අග්ගල වගෙද තග්ගෙඩි?
    පිරෙන කෑමකි බඩ ගෙඩි
    රසයත් ගුණත් ඇති වැඩි
    කෑවොත් නොකයි වෙන ගෙඩි

    ReplyDelete
    Replies
    1. තිබුනත් මොන මොන ගෙඩි
      කැවුනම පිරෙයි බඩ තඩි
      ගුනයයි රසයි වගෙ වෙඩි
      සිරුරම හැදෙයි හැඩිදැඩි..

      ස්තූතිය ඩ්‍රැකී.
      ජයවේවා

      Delete
  2. නියමයි. දුමීට හොඳට කවි ලියන්න පුළුනන් නෙව?
    කොස්-ඇට අග්ගලා නං කාලා නෑ.

    ReplyDelete
    Replies
    1. හොදටම බැහැ. ටිකක් පුලුවන් ලියන්න...
      මේ විදිහට හදලා බලන්න. රසයි ගුණයි. හැබැයි මතක ඇතුව සින්දුවකුත් කිය කිය ...

      ස්තූතිය බස්සා.
      ජයවේවා

      Delete
  3. ඇත්තටම පෙරේත හිතුනා, රෙසෙපි කවිය රසයි, පංකාදුයි. ජය!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් හදන් කමු රත්තරන්වත් ළංකරගෙන. 😀
      ස්තූතිය ගල්මල්
      ජයවේවා

      Delete
  4. අඩේ සුපිරි බං! යකෝ ඒක නං නියම එකක්!
    අර ලෝටස් කේටරින් එකටත් කියමු එන සතියේ රෙසිපියක් දාන්න කියලා!

    ReplyDelete
    Replies
    1. කොස් පොළොස් වලට පෙරේත එකේ නරකද කොස් ඇට අග්ගලා එකක් හදන් කෑවොත්. 😀 රත්තරන් එක්කම...
      ස්තූතිය තට්ටයියේ..
      ජයවේවා

      Delete
  5. කෝ මං,දාපු කමෙන්ට් එක අයියෝ මුලින්ම

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තිබුනෙ නෑ සඳූ..
      දැන් ආවනෙ.
      ස්තූතිය සඳූ..
      ජයවේවා

      Delete
    2. බ්ලොග් වල මොකක් හරි අවුලක්ද..මගෙත් එහෙම වෙනවා මේ පේන කමෙන්ට් එක රිප්ලයි කමෙන්ට් එක දාන්න ගියාම නෑ

      Delete
    3. වෙන්න ඇති මටත් එහෙම වෙලා තියෙනවා.

      Delete
  6. මමී ඉස්සර කොෂ් කියල ජාතියක් තිබුනනේද? අයි රිමෙම්බර් ඒවත් ටිකක් මේ වගේ
    ඔව් බං ඔය කොස් මැල්ලුමක් තමා කාපං.

    ඔබට ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. 😀 ඔව් හැට්ටරේ. දැන් දැන් ලමයි කොස් අඳුරන්නෙත් නැහැනෙ..
      ඉස්සරහට කොස් කියන්නෙ මොනවාද කියලත් අහයි නේද ?

      ස්තූතිය ගොඩක් හැට්ටරේ.
      ජයවේවා

      Delete
  7. කොස් ඇට පුළුස්සා
    හැදුවම නෙවද මැක්සා
    කෑවට පස්සෙ පසුදා
    'පට පට ඩෝං' වැස්සා

    ReplyDelete
    Replies
    1. අග්ගලය හදලා
      රස ගුණ හොදට තියලා
      කෑවම හිටු කියලා
      මොනා වුනත් බඩම පිරිලා.

      ලස්සනයි නිදී. ස්තූතිය ගොඩක්
      ජයවේවා
      ජ්

      Delete
  8. අගය ඇති අහරක්
    නොමැත එහි කිසි රහසක්
    අඬන විට පොඩි දරුවෙක්
    නලව ගැනුමට හොඳ ඔසුවක්

    https://sithiwilimanpetha.blogspot.com

    ReplyDelete
    Replies
    1. විරිත හසුරුවමින්
      කවිය හැඩකොට මවමින්
      ලියූ නුඹ රස තබමින්
      තුති දෙමි මා සිරස නමමින්...

      ලස්සනයි කවිය. ස්තූතිය ගොඩක්
      ජයවේවා

      Delete
  9. කටට කෙළ ඉනුවා! හදලා බලමු කොස් ඇට ලැබුන දවසක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම හදන්න. රසයි. ගුනයි. ඒත් මතක ඇතුව රත්තරන් එක්ක සින්දුවකුත් කියලම හදන්න. ඊට පස්සෙ රස ගැන කියන්න..😀
      ස්තූතිය ගොඩක් ඔබට

      ජයවේවා

      Delete
  10. කාලා කොස්ඇට
    අරිමුද අපි පඩ

    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. පිරුනොත් කෑ බඩ
      නැතිවෙයි තව ඉඩ
      සැනෙකින් දී හඩ
      පිටවෙයි තව පඩ..😀

      ස්තූතිය ප්‍රසන්න.
      ජයවේවා

      Delete
  11. Replies
    1. කමුද කොස් ඇට අග්ගලයක්..
      ස්තූතිය ප්‍රා ජේ.
      ජයවේවා

      Delete
  12. අද කොස් ගැනමයි බ්ලොග්, කොස් ගහ බත් ගහ කිව්වලුනේ. අපේ බද්දේගම සියා ගේ ගෙදර නිතරම කොස් කැවා, කොස් අග්ගලා නම් නැ.

    ඒ ගොල්ලෝ කොස් වලට කිව්වේ හෙරලි කියල

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් විජේබාහු.
      ඔව් බත් ගහ කොච්චර අපිට උපකාරයක්ද ආහාර වේලකට.
      රසය ගුණය පිරි කොස් ඇට අග්ගලා හදලා බලන්න. මටත් කියන්න.
      ස්තූතිය ගොඩක් ඔබට .
      ජයවේවා

      Delete
  13. මරැ මරැ. ඉස්සර වෙද පොත්වලත් කවිවලින් නෙ බේත හදාගන්න විසතරේ. මේක කවියෙන් රෙසිපිය !

    මේකටත් 'අපෙ අම්ම' වලියක් අදී ඔන් ඇ. හිහ්..හි 😁

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නමියා. කවියෙන් මොනාද කරන්න බැරි නේද ?
      ඇයි මීට කළිනුත් වලි ඇදුනද ?😀
      ස්තූතිය ගොඩක් නමියා..
      ජයවේවා

      Delete
  14. ඉතුරු වුන බත් සෝදලා
    අව්වේ තියා වේලලා
    වංගෙඩිය ගෙන කුඩුකලා
    ලිප තබා ගිනි මොලවලා
    පැනි පතක් ගෙන උනුකලා
    එයට බත් කුඩු මුසුකලා
    ලුනු සුඟක් දා රසකලා
    ලිපේ ගින්දර අඩුකලා
    ගම්මිරිස් කුඩු එක්කලා
    ලිපෙන් බා ඉවතට කලා
    නිවුනු පසුගෙන ගුලි කලා
    එන්න කමු බත් අග්ගලා



    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකත් රසම කෑමක්නේ. ලස්සන කවියත් පැමිණීමටත් ස්තූතිය ගොඩක් .
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...