Saturday 18 May 2024

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

 

.

" සුදු අරලිය මල් පොකුරක්... "


( කෙටි කතාවක් )...



"ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න වී තිබුණි.  වැහි පොද අතරේම මම  දුම්රියෙන් බැසගත්තේ කුඩයක් නොගැනීම පිළිබඳව මටම දොස් කියාගනිමින්ය. රාත්‍රියට ආසන්න වී තිබු නිසාම අවට ගැමි ජනතාවද පෙනෙන්නට නොවුණි. තවත් සුළු මොහොතකින් දුම්රිය යළිත් පිටත් වූ පසු රේල් පාර දිගේ මම හෙමින් හෙමින් ඉදිරියට පියමං කෙරුවේ ජංගම දුරකථනය අතට ගන්නා අතරේය.


" මානසී "


මම ඒ නමට යළිත් ඇමතුමක් ගත්තෙමි. එහෙත් ඒ දුරකථනය තවමත් ක්‍රියා විරහිත වී ඇත. වරක් දෙවරක් නොව, මා විසින් ඇයට ගනු ලැබූ දුරකථන ඇමතුම් ගණන විස්සකට අධිකය. 


" මානසීට අසනීපයක්වත් වුනාද ?"

" ඒත් ෆෝන් එක ඕෆ් කරන්න තරම් අසනීපයක් ? "


මට සිතාගැනීමට නොහැකිය. 


අවට අඳුර වැඩිවන බවක් පෙණුනු බැවින් මම බෑගයේ වූ විදුලි පන්දම ගෙන එය දල්වාගෙන යළිත් ඉදිරියටම ගමන ආරම්භ කෙරුවෙමි. අයහපත් කාළගුනය හේතුවෙන් මේ ප්‍රදේශයේ විදුලිය විසන්ධිවී ඇති බව මට හැඟුණේ වෙනදාට විදුලි ආළෝකයෙන් බැබළෙන නිවාස තුළ අද අඳුරු බවක් පෙනෙන්නට වූ නිසාය. 


දින හතරකට කලින් නිවාඩු ලබාගෙන ගමේ ගියත් මානසී සමග දුරකතනයෙන් කතා කිරීමට ලැබුනේ මම ගිය දිනයේ පමණි. ඉන් පසුව දිගටම ඇගේ දුරකතනය ක්‍රියා විරහිත වී ඇත. 


මම මේ ගමට පැමිණි අලුත් පාසල් ගුරුවරයකු නිසාත්, ඇය මේ ගමේ පදිංචි සාමාන්‍ය කාන්තාවක් නිසාත්, අප අතර ඇතිවූ ප්‍රේම සබඳතාවය තවමත් රහසිගතව පවත්වාගෙන යන එකක් නිසාත් ඈ පිළිබඳව කිසිවකුගෙන් විමසීමටද නොහැකිය.


දහසකුත් සිතුවිලි අතරේ පැරණි ගල් පඩි පේළි කීපයක් නැගීමෙන් අනතුරුව මම මගේ නවාතැන්පොළ වෙත පැමිණියෙමි. 

ඒ වනවිට රාත්‍රී හතට ආසන්න වී තිබුණි.

දොර විවෘත කරගෙන නිවස තුළට පැමිණ

බෑගය ඇඳ මතට විසිකර දැමූ මම විදුලි පන්දම මේසය මත තැබුවෙමි.


තොල කට වේලී ගොස් ඇත. බෑගයේ තිබූ වතුර බෝතලයෙන් උගුරක් දෙකක් බී එයද මේසය මත තැබුවෙමි. අනතුරුව ඇදුම් ගළවා දමා සරමක් හැඳගෙන යළිත් ජනේලය දෙසට ගියේ අතැඟිලිවලින් හිසේ වූ ජල බිංඳු පිසදා  ගනිමින් ය. 


වැස්ස ටිකෙන් ටික වැඩි වුවද කාමරය තුළ වූයේ තරමක උණුසුම්බවකි. ඒ නිසාම ජනේලය විවෘත කෙරූ මම ඒ අසළ පුටුවේ හාන්සි වුණෙමි.


වැහි පොදත් සමග සීතල මුසුවී හමා ආ සුළඟට මගේ තෙහෙට්ටුව මදකට හෝ සමනය කිරීමට හැකි විය.


" මානසී..."

" මානසී..."


මතකෙට නැගෙන්නේම ඒ රුවය, ඒ කටහඬය, ඒ හුරතල් හිනාවය. ඉතින් කෙසේනම් ඈව අමතක කරන්නද ? ඈ පිළිබඳ සුන්දර මතක සිතුවිලිත් සමගම මගේ නෙත් පියවිය.


මොහොතකින් දොරට ගසන ශබ්දයක් ඇසීමෙන් මම දෙනෙත් විවර කෙරුවෙමි.


" කවුද ?"


" මම අනේ... අඳුරගන්න බැරිද ?"


ආහ්... මානසී...! ඔව්. ඔව් ඒ මානසීගේ කටහඩයි.


සතුටත් සමගම මම දොර අසළට දිව්වෙමි.


" කල්ප.. !,"


මානසී විවෘතව තිබූ දොරටුවෙන් කළබලයෙන් මෙන් පැමිණ මාව වැළඳගත්තාය. 


" මා...න...සී..."


සිතා ගැනීමට නොහැකි මොහොතක ඇගේ පැමිණීම මට ඇතිකලේ මහත් සතුටක්, පුදුමයක්. 

මම ඇයව වැළඳගත්තෙමි.

මගේ නිරුවත් උඩුකයට ඇගේ දුහුල් ඇඳුම හරහා දැණුනු ඒ උණුහුමට මම තදින්ම ඇලුම් කෙරූ නිසාම තව තවත් ඇයව තදින් වැළඳ ගත්තෙමි. ඒ පිරුණු ලැමේ ආදර උණුහුම හිත පුරා විඳ ගැනීමට ඇගේ ඇඳුම කිසිසේත්ම බාධාවක් නොවුණි.


මද වෙලාවක් පැවති නිහඬ බව බිඳ දමමින් මානසී හඩ අවදි කළාය.


" මාව අමතක කරලම දැම්ම නේද ? "


" අනේ නැහැ මැණික... 

මම කී වතාවක් ඔයාට කතා කරන්න හැදුවත් ඔයාගෙ ෆෝන් ඕෆ්..., 

අනික මම කොහොමද එහෙම ඔයාව අමතක කරන්නෙ... 

ඔයා හිතනවද.... 

ඔයා හිතනවද මැණික...

ඔයාව අමතක කරලා මට හුස්මක් ගන්න පුලුවන් වෙයි කියලා ..."


" මම දන්නවා, මට ඔයාගෙ ආදරේ දැනෙනවා ..."


මානසී මගේ නළල මත උණුසුම් හාදුවක් තබමින් පවසා මාව අතහැර මේසය අසළට ගියාය. 


" මම මේ පන්සල් ගිහින් එන ගමන්... ලස්සනයි ද මේ මල් පොකුර... ඔයාටමයි ගෙනාවෙ..."


එසේ පැවසූ මානසී ඇගේ අතේ රඳවාගෙන තිබූ සුදු අරලිය මල් පොකුර මේසය මතවූ මල් බඳුණට දමා ඇඳේ වාඩිවුණාය.


"ලස්සනයි. , ඒත් ඔයා තරම් නෑ මැණික... "

අනතුරුව මමද ඈ අසළින්ම වාඩි වුණෙමි. 


හිස මගේ වම් උරහිසේ තබාගත් මානසී මට තුරුළු වුණාය.ඇගේ නළල සිප ගත් මම ඇයව තවත් තදින්ම බදාගත්තෙමි. 

ඒ සුවය මට සතුටක්ය. මම ඒ උණුහුම ට තදින්ම ඇලුම් කෙරුවෙමි. දෙනෙත් පියාගෙනම මම ඇගේ උණුහුම වින්දෙමි.


ගතවූ වේලාවක් පිළිබඳව මට වැටහීමක් නැත. යළිත් මා දෙනෙත් විවර කෙරුවේ දොරට ගසන ශබ්දයක් ඇසීමෙනි. ඒ වනවිට පහුවදා උදෑසන වී තිබුණේය. නිවසේ ජනේලය මෙන්ම දොරද හැර තිබුණි. 


" ඉස්කෝලේ මහත්තයා...."


කවුරුන් හෝ මිදුලේ සිට මා ඇමතුවේය. මම ඇඳේ වාඩි වී වට පිට බැලුවෙමි.


" මානසී "....?


එහෙත් මානසී අසළ නොසිටියාය. ඊයේ රෑ මා සමඟින් සිටි මානසී කෝ.. ? ඇය යන්න ගිහින්ද ? එසේනම් මට නොකියා ගියේ ඇයි ? මම කල්පනා කෙරුවෙමි.


" ඉස්කෝලෙ මහත්තයා , තාම නිදිද ? "


පැමිණ සිටි පුද්ගලයාගේ කටහඬ යළිත් ඇසුණු බැවින් මම ඉක්මනින්ම විවෘතව ඇති දොර දෙසට ගමන් කෙරුවේ කමිසයද ඇඳගන්නා අතරේය.


" ආ ... මේ බණ්ඩාර මාමානෙ. කොහොමද මාමෙ "


ගමේ අහිංසකම චරිතයක් වන බණ්ඩාර මාමාගෙන්  මම ඇසුවෙමි. 


" ඉස්කෝලෙ මහත්තයා ඊයෙ රෑද ආවෙ. කොහෙද මේ මූසල වැස්ස හින්දා මේ පැත්තේ එන්නවත් බැරිවුනා. පහුගිය ටිකේ පොඩි විනාසයක්ද මේ පැත්තට වුණේ... ඊටත් වඩා කරන්ට් එකත් නෑ.. ? "


" මම ඊයෙ රෑ තමයි ආවෙ මාමෙ. 

මහන්සිය හින්දද මන්දා ඔලුවත් රිදෙනවා තාම, 

ඒක නෙමෙයි මාමා කොහෙද ගියේ සුදු ඇඳුමකුත් ඇඳගෙන ?" 

මම ඔහුට වාඩිවීමට පුටුවක් තබමින් ඇසුවෙමි.


" මම පන්සලට ගිහින් එන ගමන්, අර දෙන්නත් එක්ක. ඒ ගිහින් එන අතරෙයි මේ දොරවල් ජනෙල් ඇරලා තියෙනවා දැකලා ඒ දෙන්නට යන්න කියලා ආවෙ.  අර යන්නෙ ඒ දෙන්නා..."


ඔහු පැවසුවේ පාර දෙසට අත දිගු කරමින්. මම ඒ දෙස බැලුවෙමි. සුදු පාට ඇඳුමින් සැරසී පාරේ ඈතට යන ඒ යුවළ මම හඳුනාගත්තෙමි.


" මාමේ... ඒ අර කන්ද පාමුල ගෙදර මාමයි නැන්දයි නේද ? "


" ඔව් ඔව්. අර මානසී දැරිවිගෙ අම්මයි අප්පොච්චියිනේ. ඒ උදවියත් එක්ක තමයි මම මේ පන්සල් ගිහින් එන්නේ "


බංඩාර දිගු සුසුමක් පිට කරමින් මා දෙස හැරුණේය. 


" එතකොට මානසී පේන්න නැත්තේ...?"


" මහත්තයට මෙහෙ වුණ දේවල් දන්වන්න විදිහක් තිබ්බෙ නෑනෙ. "


ඔහු ලේන්සුව ගෙන ඇස්වල පිරුණු කඳුළු පිසදාගත්තේය.


" පහු ගිය ටිකේම වැස්සනේ. මහත්තයා ගිය දාට පහුවදාත් මහ වැස්සක් වැටුනා. ඒ වැස්ස අඩු වුණාට පස්සෙ ඔය මානසී දැරිවියි ඒ අම්මයි අප්පොච්ච්යි පන්සලට යන්න පිටත් වෙලා තියෙනවා. අම්මටයි අප්පොච්චිටයි යන්න කියලා මේ දැරිවි ආයිත් හැරිලා ගෙදර ඇවිත් තියෙනවා වැට අයිනෙ තියෙන ලොකු අරලිය ගහෙන් මල් පොකුරක් කඩාගන්න කියලා... ඒත්..."


ඔහු යළිත් ලොකු හුස්මක් පිටකරමින් කතාව ආරම්භ කෙරුවේය. 


" ඇයි මොකක්ද සිද්ද්වුණේ , මාමේ.." 

මට දැනුණේ යම් අමුත්තක්.


" ඒ දැරිවිගේ ගෙට එහායින් තිබ්බ අර මහ පස් කන්ද ..! ඒක මහ වැස්සට තෙතබරිත වෙලානෙ  තිබ්බෙ. කිසිම හිතක් පපුවක් නැතුව..... ඒ කන්ද    ක.... ඩා...   ගෙන...  වැටිලා.... අනේ.... "


ඔහු ඉකි ගසා හඬන්නට වුණේය. මට කිසිවක් හිතා ගැනීමට නොහැකි විය. ඔළුව කැරකෙනවාක් මෙන් දැනෙන්නට වූයෙන් මම ඉදිරි දොරට හේත්තු වුනෙමි. 


" එතකොට මානසී....

එහෙම දෙයක් වෙන්නේ කොහොමද ? මානසී... 

නෑ නෑ... එහෙම වෙන්න බෑ...

ඊයෙ රෑත්... ඔව් ... 

ඊයේ රෑත් එයා මාව හම්බෙන්න ආවනේ මෙහෙ. 

ඔව් මට මතකයි. ඊයේ රෑ වෙනකන් එයා මාත් එක්ක හිටියනේ.. එතකොට අර...."  


නොනවත්වාම පහළවූ සිතුවිලි අතරේ මම ගේ තුළට එබී මේසය මත තිබූ මල් බඳුනට මානසී දැමූ අරලිය මල් පොකුර තිබේදැයි බැලුවෙමි. පුදුමයකි.


මල් බඳුණේ මල් නැත. ජලයද නැත. වියළි දඬු කිහිපයක් පමණක් එහි තිබූ අතර කළු පැහැව පරවී ගිය අරලිය මල් පෙති මේසය පුරා විසිරී තිබුණි...

මම යළිත් බණ්ඩාර මාමා දෙසට හැරුණේ අවුල් වූ මනසකින් බව මට වැටහුණේය.


" එතකොට මානසී...?. " 


" අනේ ඒ දැරිවි අර මහ පස් කන්දට......! "

යළිත් හඬමින් ඔහු හඬ අවදි කළේය.

" පැය ගානක් ගියාට පස්සෙ හැමෝම එක්ක පස් අයින් කරද්දී දැරිවිව හොයාගත්තා."


 "ඒත්... ඒත් ඒ වෙනකොටත් දැරිවි මේ ලෝකෙන් සදහටම යන්න ගිහින්. මිණිය හොයාගද්දිත් ඒ දැරිවිගෙ අතේ තිබුණේ පන්සලට ගෙනියන්න කඩාපු....

**සුදු අරලිය මල් පොකුරක්.....!** "



--- නිමි ---




( 2016 නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම කෙටි කතා ත්‍රිත්වයට නිර්දේශිත වූ දුමීගේ නිර්මාණයක්... )


Saturday 11 May 2024

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )


 .

.

සලා සිනහව රඟන මොහොතක 

                     හදේ ගැඹුරුම තැනක රැඳුණා

කලා පොකුණම සුවඳවත් කර 

                ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා

වලාකුළකින් මිදුණු සඳවත 

                       පරදනා රුව මතකෙ මැවුණා

වෙලාගත් මගෙ හැගුම් සෙනෙහස

                       කවිකමක් වී මෙසේ තැබුණා...

.


මවන ඉඟි බිඟි දෙනෙත කඩිසර 

                 මුවැත්තිය ලෙස නිතර පෙනුණී

වචන ගළපන අපූරුවනම් 

                        ඉස්තරම් බව කියමි බැතිනී

තිබෙන මතකය හැඩයි රංගන 

                        දීගෙ බක් මහ දසුන් මැවුණී 

ලබන හැම දින "සේරසිංහ"ය, 

                 ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී...

.


.


(  ශ්‍රී ලාංකේය කලාකෙත අස්වැද්දූ සම්මානනීය නිළි මාතාව,

 " අයිරාංගනී සේරසිංහ මැතිණියට " දුමීගෙන් පිදෙන හෘදයාංගම උත්තමාචාරයයි මේ... !!! )


--- දුමී ---.

Saturday 4 May 2024

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).


 .

ඔයාට මතකද ?

ආදරේ පාට මොකද්ද කියළා...

දවසක් ඔයා මගෙන් ඇහුවා.

ඒ වෙලාවෙ... 

මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා.

"කෝපී.?.." කියළා...

මගේ උරහිසට ඔලුව බරකරගෙන ඔයා කිව්වේ... 

තව තවත් මට තුරුළුවෙන ගමන්.

ඔව්.

ආදරේ පාට... කෝපි පාට..!

මන්දාරම් හැන්දෑවේ...

වැහි බිංඳු එකින් එක, 

ජනෙල් වීදුරු තෙමාගෙන ඇදී යද්දී...

නිස්කලංක කාමරයේ, 

ඉටිපහන් එලිය...

යාන්තමින් අඳුර මකාගෙන පැතිරෙද්දී...

හිතක...

ප්‍රේමණීය හැඟුම් පුබුදුවන්නට තරම්, 

පානයක් තියෙනවනම්. 

ඒ...

උණුම උණු, කෝපි කෝප්පයක්ම තමයි. 

ඒකටම හරියන...

ඔයාගෙන් කම්මුලට ලැබුණු හාදුවේ රස්නය...

ඉතින් මැණික...

ආදරේ පාට, කෝපි පාට කියන්න

තව මොකටද හේතු සාධක. 

එදා වගෙම අදත්...

ඒ මන්දාරමමයි.

හිරිගඩු නලියන, ඒ සීතල වැහි බිංදුමයි.

කිසිම සද්දයක් නැති, පාළු අඳුරු නවාතැනමයි.

ආදරේ මතක අවුස්සන... 

තනිකමයි මමයි අතරේ... 

ඔයා එනකන් මග බලාගෙන ඉන්න...

ආදරයේ පාට රැඳුණු...

අපෙ ආදර කෝපි කෝප්පය,

තාම රස්නෙයි මැණික...


--- දුමී ---

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...