Wednesday 29 November 2023

ඒ හින්දා මගෙ මැණික ඔයා.... හිනාවෙලාම ඉන්න.....

 . 


මම යනවා. 

යන්නම යනවා. 

මේ හුස්ම තව ටිකකින් නතර වුණාම...

ආයෙත් නොඑන්නම යනවා.. 

මම දන්නවා මැණික...

ඔයාට ඒක දරාගන්නබැරි බව..

ඒත්..

ඒත් කවදාක හරි අපිට යන්නම වෙනවා....

ඒ ඇත්තට මුහුණ දෙන්න වෙනවා...

ඉතින්....

ඔය ලස්සන ඇස් දෙකට 

උණු කඳුළුනම් ගැළපෙන්නෙ නෑ..

අවසාන මොහොතටත් මට ඕනෙ...

ඔයාගෙ ඒ ලස්සන හිනාව දැකලම යන්න...

ඒ හින්දා ....

මගෙ මැණික 

ඔයා 

හිනාවෙලාම ඉන්න.....


--- දුමී ---

Saturday 25 November 2023

තැනක් ඉඩක් අදාළමද ඇවිළෙන්නට ගිණී.... ( ශනිදා රෑ දහයට VII )

.



 .

වසක්   රසක් හෝ ආපිට හැඟුමන් ගත      දැනී

වරක් දෙකක් නොව නිතරම සතුටට නතු  වුණී

බියක් සැකක් වලලාගෙන හැම දෙනාම      පනී

තැනක් ඉඩක් අදාළමද ඇවිළෙන්නට          ගිණී

.


සිසිල් වෙමින් සැනසෙන්නට ආවත් සුව     දැනී

ඇසිල්ලකින් ඇවිළෙනවා නවතනු බැරි     ගිණී

දුසිල් ලෙසින් අනුනට කිව් සුදනුන් වැනි    වැනී

විසිල් දෙමින් බල්ටි ගසා වැට කඩුලුත්       පනී

.


ඇති වී නැති වෙන බවනම් සොබාදහම      දනී

සති යහපත් කරගත්තත් යටි හිත පිමි       පනී

ගති දුරලනු බැහැ කැරකී එයි ආශා            පැනී

හති වැටෙනා තුරු පිච්චෙන සැපතක්මද   ගිණී....


--- දුමී ---

Thursday 23 November 2023

ඔබේ උණුහුමෙ ලැගුම් ගන්නට පතමි අවසර සෙනෙහසින්.....

.



ඉබේ හමුවුණු දෙනෙත දෙනෙතට ලඟින් ඉන්නා අදහසින්

තැබේ පියවර දිනෙන් දින තව වශී වෙන ඔය මදහසින්

තිබේ දහසක් සිහින සිත්තම් සසර හුරුවූ අනුහසින්

ඔබේ උණුහුමෙ ලැගුම් ගන්නට පතමි අවසර සෙනෙහසින්.....


--- දුමී ---

Saturday 18 November 2023

නගේ... තිගේ... ඉඟේ.... රඟේ... ( ශනිදා රෑ දහයට VI )

 


නගේ

තිගේ

ඉඟේ

රඟේ


මගේ

ඇඟේ

නැගේ

දඟේ.....



( සිරි ඦන්දසේ බිඳු විරිත ඇසුරෙන් )


--- දුමී ---


Saturday 11 November 2023

රස හොයන් ගියෙ හැර මට දියන් පිළිතුර.... කාව්‍ය චතුශ්කය ( ශනිදා රෑ දහයට V )

 



.

රඟ    බලන්     ඉඟ කර  නෙත හෙලන්     හිටි පෙර

රජ     කරන්    ලෙස ඉර        පෙම දරන් බොහො දුර

රති      දමින්   ගිණි සැර        විඳ දෙමින්       හිරිහැර

රස හොයන්  ගියෙ හැර         මට දියන්          පිළිතුර


.


අර්ථය :

නෙත් හෙලා ඉඟ, කර ආදී වත රූ රඟ බලා සිටි, මගේ ලෝකයේ හිරු ලෙස රජකරමින් සෙනෙහස පෙන්වමින් බොහෝ දුර ගිය, රති දම් විඳ විඳ එයම ගින්දරක් සේ හිරිහැර දෙමින්, අවසානයේ වෙනත් රසක් හොයමින් හැර ගියේ ඇයිදැයි මට පිළිතුරු දෙන්න .!!


සටහන : 

කාව්‍ය චතුශ්කය නම් වූ දුෂ්කර බන්ධන විශේෂයක්. 

ඔරලෝසු කටු කැරකෙන දිශාවට කියවිය යුතුයි.

සියළුම පේලිවල 1, 8 සහ 16 යන ස්ථානවල එකම අකුරක් තිබිය යුතු අතර එය අනිවාර්යයෙන්ම අපාය අක්ෂරයක් විය යුතුයි. 

තවද 4 සහ 12 යන ස්ථාන දෙකේද එකම අකුරක් විය යුතු අතර එය පේලි අතර වෙනස්විය හැකිය. එසේම ඒවා ලඝු, ගුරු, හලන්ත ගුරු  හෝ ප්ලූත හෝ විය හැකියි. 


--- දුමී ---


.

Saturday 4 November 2023

එන්න මොහොතක් නුවර හෙවනට අපට හුරු තැන හිස්ව තිබුණා....... ( ශනිදා රෑ දහයට IV )


 

විසිර ඇති තරු කැකුළු අතරේ සඳක් පියකරු නෙතට ගැටුණා

වසර ගණනක් ගෙවී ගියමුත් අදත් ඒ රුව ළඟම තිබුණා

කවර හේතුද කියන්නට බැහැ සසර හුරුබව තදට දැනුණා

නුවර අහසක ගෙතුණ සිතුවිලි සත්තමයි හිත පතුළෙ රැඳුණා



අව්ව වැස්සද නොදැනුණාමයි ඇවිද ගිය දුර මදියි සිතුණා

වැව් දියේ රැළි වලාකුළු බැමි අතර කොතෙකුත් මතක රැඳුණා

ගෙව්ව දිනයන් හිතම සනසයි එහෙත් කරුණක් බරට දැනුණා

කව්ද අපි අපෙ සබඳකම් ගැන කියා ගන්නට වචන නොවුණා



වෙන්වෙනා බව නුදුරු දිනයක සිහිකරද්දී කදුළු පිරුණා

ළංව හිඳිනට හිතාගත්තද උරුම නැති බව නිතර දැනුණා

යන්න පෙර දුර පුරුදු සෙනෙහස විඳින්නට යළි වරක් සිතුණා

එන්න මොහොතක් නුවර හෙවනට අපට හුරු තැන හිස්ව තිබුණා.......


--- දුමී ----

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...