Saturday 28 October 2023

ගැඹුරු අරුතත් රුදුරු ගලකින් නෙලූ අරුමය හෙල කලාවේ..... ( ශනිදා දහයට )

 


ගැඹුරු අරුතත් රුදුරු ගලකින් නෙලූ අරුමය හෙල කලාවේ.....



දුඹුරු   පැහැගත්        සුමුදු පහසින්        දෙපා සුවමය    වැලි තලාවේ

පිඹුරු      පිටපත්  මනසෙ රැඳෙමින්        චන්ද්‍ර අර්ධය   මැවු වෙලාවේ

නැඹුරු  වන සිත්     දහම් අරණෙන්  නොයන බවමය   වෙත මුලාවේ

ගැඹුරු   අරුතත්      රුදුරු ගලකින්       නෙලූ අරුමය  හෙල කලාවේ



පළමු           කවයක  නොවන  සේ  මුදු  විසිර      රඟනව ගිණි   ලතාවන්

සිතමු  මොහොතක       විඳින    මී  බිඳු  සසර  දුක ලොව   සැදි   මනාවන්

දකිමු        එකිනෙක       දුවන    සී  සිඳු   අතර    ගජ ගව වෙති    රටාවන්

දනිමු           අරුතක    රැඳෙන  දේ  රුදු   සතර    බිය බව  දෙති   මුලාවන්



ඉරෙන්   පනදෙන  හැඩය  විහිදෙන    ලියවැලකි  නෙත  පැහැර     ගන්නා

බරෙන්  මිරිකෙන  භවය      විඳවන  ඉඟිපෙලකි     සිත    පැතිර    තණ්නා

කිරෙන්   දිය මැන  සතිය    හික්මුන    හසරැළකි   නැත     නතර   වෙන්නා

වැරෙන්  දිරිගෙන   අරිය     මග යන  පිළිවෙතකි    ඇත     නිතර   පෙන්නා



සිහින්   ලියවැල්  ඇලෙන හැඟුමන්  තුරන්     වී යන  හැඩය     තියලා

නිවන්  සිහිලැල්       රඳන    සියපත්  මලින්     පීදෙන    රසය     තවලා

දනන්  හැමකල්    ඇදෙන     පිංවත්   දමින්  නෑවෙන    සුවය  සොයලා 

බලන්  කළුගල්   මැවෙන    දසුනත් සිතින්  පේවෙන  බැතිය     වැඳලා......


--- දුමී ---

Saturday 21 October 2023

කවි කොස් ඇට අග්ගලා - කන්න එන්න ළංවෙලා......( ශනිදා දහයට )

 


(  ඳුවඟ ගී විරිතට කරනලද නිර්මාණයක්  )


ඳුවඟ ගී විරිතට

පද ගළපලා රසයට

කඩ කෑම වස වෙනුවට

අපි අග්ගල හදමු ගුණයට


වැටෙන මේ වැස්සේ

සීතලෙන් හිත ගැස්සේ

අග්ගල රසය ඔස්සේ

කන්න එන්න දවස තිස්සේ


කොස් ඇට තම්බලා

නැතිනම් ගෙන පුච්චලා

පොතුටික ඉන් වෙන්කලා

බලන්න එනවද ළංවෙලා


පසුව එය අරගෙන

බඳුනක් රැගෙන දමමින

පදමකට පොඩි කරමින

කියමුද ගී  මෙමා සමගින


ගාගත් පොල් ගනූ

හැන්දක් එක්කර ලුණූ

සීනිද යහමින් දෙනූ

අනමින් තව පොඩ්ඩක් කනූ


ගම්මිරිසුත් ටිකක්

තලා දැම්මොතින් සැරක්

එක් වෙනවා හොඳ රසක්

ඉවසා ඉන්නට බැහැ ගොඩක්


කොස් මිශ්‍රණේ අරන්

මීට හොදින් එක් කරන්

දැන් එයි සුවඳක් පෙරන්

ඉන්නෙ ඇයිද ඔය කට ඇරන්


ටික ටික ගුලිකලා

‍බෝල ලෙසට හැඩවෙලා

කෙසෙල් කොලේ නැලවිලා

කොස් ඇට අග්ගල හිනැහිලා


ඉඟුරු ටිකක් තලා

කහට එකට මුසු කලා

පෙරේත කම වැඩි වෙලා

ඉන්නෙ ඇයිද දැන් බල බලා


සවසක ළංකරන්

නොකා ඉතින් මක්කරන්

එන්න මගේ රත්තරන්

කමුද ආලෙ අපෙ එක්කරන්


මෙහි හොඳ ගුණමලූ

කඩේ ගන්න නැහැමලූ

මුදල් අතේ රැඳිලලූ

අපේ ආලෙ තව වැඩිලලූ....


--- දුමී ---

Saturday 14 October 2023

සඳත් දැන් තැවිල්ලෙන් රැඳෙන්නේ වලාවේ .... ( ශනිදා දහය )

 


( ජගතී ඡන්දසට අයත් භුජංගප්‍රයාත විරිතට අනුව කෙරූ නිර්මාණයක්.  පාදයකට " ය " ගණ හතරකි. පාදාන්තයේ යතිය. )


සඳත්   දැන්  තැවිල්ලෙන්  රැඳෙන්නේ    වලාවේ

තරුත්  දුන්  හැඬිල්ලෙන්    කියන්නේ  කතාවේ

ළඟත්  උන්   නිදැල්ලෙන්   ඇදෙන්නේ   මුලාවේ

මමත්  රන්  කැදැල්ලෙන්  හොයන්නේ  ඔයාවේ


සදා   කල් සිනාවන්    තිබූදෙන්   පැතූවේ

එදා    කල්පනාවන්  නිසාවෙන්  හැඬූවේ

හදා    මල් රටාවන්   රැඳූ තැන් නොවූවේ

මෙදා සිල් වතාවන් මෙමා දැන්    පිරූවේ


සිතක්   සෝ  නොදේනම්  නොරිස්සුම්  නොවන්නම්

මලක්   කෝ    වැටේනම්      පරිස්සම්       කරන්නම්

දුරක්         ඕ     ඇදේනම්  වෙනස්කම්  නොදෙන්නම්

හෙටක් හෝ  නැතේනම්  දෙඇස් මම්        පියන්නම්


--- දුමී ---

( තට්ටයා සහ කොළොම්පුරේගේ ඉල්ලීම මත ශනිදා දහයට ඔන්න දුමී ගෙන් කවි පන්තියක්. ස්තූතියි. )

Monday 2 October 2023

මාත් සමගම සිහි තබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....

 


පාය  පායා  හෙලන  සුසුමක  දුක්  කඳුළු  පිණි                    තවරන

පෝය  අහසෙහි  පෙනී  නොපෙනී  වප්  හඳත්  දුක්            උහුලන

යාය  එළිකල  සුවඳ  තවරපු  මලක්  නික්මී                          ගියදින

ඈය මගෙ ලොව නොමැති මොහොතෙදි හදවතේ ගිණි ඇවිලෙන


අතීතෙක සිහිවටන කුසුමන් එකින් එක පෙති  පුබුදන

එතී දැවටෙන ලතාවන් හද මඩල නිබඳව         කළඹන

පතී යුවතී වරම් ලැබුමට ප්‍රථම මෙලොවෙන්  නික්මුණ

සිතීමෙන් මේ දෙනෙත් රතුවී දුකින් කඳුළින්      නලියන


ආත්මෙක බැඳි සසර සෙවනැලි සෙනෙහෙ දෝතක්  සමඟින

ඈත් වෙන සඳ හිස් අහස් ගැබ දුක් අදෝනා                විමසන

දෑත් එකිනෙක පැටලි මිමිණුව අපේ සෙනෙහස        පෙරදින

මාත් සමගම සිහි තබාගෙන හූල්ලයි පෙම්                  පුදසුන.....





ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...