Saturday 27 January 2024

මරණ මගේ පද වැල් වැළපෙයි දුක සේ... ( ශනිදා රෑ දහයට XVI ).


 .

සොඳුරු වසන්තෙක පිපි ගී   ලතාවේ

මියුරු නදින් හිත් පිබිදුණු    වෙලාවේ

පවුරු සදිසි හෙළ සළකුණ   කලාවේ 

කවුරු නැතත් අද මම වෙමි  මුලාවේ


සිර වුණු සුසුම් ගෙන ගී තනු සැදු          විවිධ

හර බර ප්‍රශංසා අභිමන් විය              නොමද

වෙර ගෙන රසික සිත් වෙනුවෙන් එය  කළද

පෙර දින තිබූ ජන ආලය අද            කොහෙද



තොරණ ගසා පිළිගත් තරුවකි  මිණි සේ

පරණ වෙලා දැන් දිස්නය නෑ      පෙර සේ

සරණ පතා නව අතු අල්ලන         රිසි සේ

මරණ මගේ පද වැල් වැළපෙයි     දුක සේ...


--- දුමී --


Saturday 20 January 2024

ජය ලද දිනක මා හැර දුර ඇදෙනවදෝ.... ( ශනිදා රෑ දහයට XV )


 .

දැරු පැහැ නීල දඟකම් පෑ පුංචි      නෙතූ

හුරු පිය රුවම සිහිකරවයි දුකක     තතූ

සරු වූ ගැබට වැඩිදා සිට මගේ           පුතූ

හිරු ළං වුණේ වෙන සඳකට තරුද     සතූ


වෙනතක බැඳුණු දෙදෙනෙකු ලොව ළං කරමින්

දෙසිතක සතුට රන් මුදුවෙන් වෙන්        කරමින්

කතරක දැවී සිටියදි නෙත් තුටු               කරමින්

අඳුරක ආවෙ පුතු මගෙ ලොව එළි         කරමින්


පිය ගුණ නිතර ඔය හදටත්    දැනෙනවදෝ

තිය තිය අඩිය ඒ රූපෙම        හොයනවදෝ

කිය කිය වරුණ තනියම දුක්      විඳිනවදෝ

ජය ලද දිනක මා හැර දුර         ඇදෙනවදෝ


මට නුඹ රජෙකි තනි වුණු ලොව කිරුළ     නැතේ

පිට පිට නැගෙන බාධක පැරදුමයි              සෙතේ

රට වට එතෙන මිනිසත්කම ඇතුව              සිතේ

හෙට ලොව ජයෙන් නැගිටිනු මම ළඟයි      පුතේ...


--- දුමී ---

Thursday 18 January 2024

පරිස්සමෙන් ඉන්න, ආදරෙයි මැණික...!.


 .

කියාගන්න බැරිව... 
ආදරය හිතේ හිරකරගෙන...
හොඳම සමීපතමයන් විදිහට,
හොඳම යහලුවන් විදිහට... 
හිත් දෙකක් ඇසුරු කිරීම මාරම දුකක්. 
මොකද...
අපෙ හිත් දෙකම... 
අපි දෙන්නගෙ...
ආදරේ කොච්චරක්ද කියළා දන්නවා.
අපි දෙන්නගේ...
සංසාරගත බැඳීම කොච්චරක්ද කියලා දන්නවා.
ඒත්...
ඒත්, ඒක කියන්නේ නැත්තේ... 
කවදාවත් අපේ හිත් දෙකට...
එකතු වෙන්න බැරි බව දන්න නිසා.
ඒක ඔයත් දන්නවා කියළා මම හිතනවා...
පොඩි වෙලාවකට හරි...
දැක්කම දාලා යන්න බැරි හැඟීම කොච්චරක්ද...? 
පොඩිම හරි ස්පර්ශයක්වත් නැතිව...
ජීවිතයේ... 
මුහුණ දුන් දුක සැප... 
වචනවලට පෙරලාගෙන...
කාලෙ ගතකරද්දී දැනෙන සැනසීම කොච්චරක්ද... ? 
ඉතින්...
ඒ හැම දෙයක්ම හිතේ තියාගෙන... 
හැමදාම හමුවෙන්න හීන මවාගෙන...
එහෙම නිතරම හමුවෙන්න බැරිවුණත්... හමුවෙන පුංචිම වෙලාවක පවා... 
පුදුමාකාර සැනසිල්ලක්...
පුදුමාකාර සතුටක් විඳිමින්...
ජීවිතය ආදරෙන් ගෙවන එක...
කොච්චර නම් හදවතට බරක්ද...?
කොහොමද  ඒ හැඟීම වචනයකට ගළපන්නෙ කියලා...
හිතාගන්නත් බැරි තරම්...
ඒ මොනා වුණත්...
අපිට ඒ පොඩි වෙලාවකට හරි...
හමුවෙන්න තැනක් තිබ්බා.
පොඩි වෙලාවකට හරි...
ඇවිදගෙන යන්න තැනක් තිබ්බා.
ඒ...
සදාතනික ප්‍රේමණීය සිහිවටනයක් වූ...
සෙංකඩගල පුරවරයයි...
අපිට අපිව උරුම නැතත්...
අපිට අපිව මුනගස්සපු... 
ස්නේහයේ නගරය වූ... 
මහනුවරයි...
මේ ලස්සන පුරවරයේ...
සංසාරෙ ඊළඟ බවයක හරි...
අපේ හිත්වලට...
ආශිර්වාදයක් ලැබෙයි මැණික.
එදාට...
මේ හිතේ වදදෙන දුක සතුට දෙකම...
කඳුළු වෙලා ඇස්වලින් ගලායන එකනම්...
නතර කරගන්න බැරි වෙයි...
පරිස්සමෙන් ඉන්න...!
ආදරෙයි මැණික...

--- දුමී ---

Saturday 13 January 2024

සොඳුරුයි සොඳුරියේ අද දින.....( ශනිදා රෑ දහයට XIV )

 .


.

දළුපත් ඇහැරෙන

හිරිගඩු නැටවෙන

පෙම් හිත් නැහැවෙන

සිසිලස කොහෙද මෙතරම් වෙන


සියොතුන් නලියන

රහසක් මුමුණන

නිසසල රජයන

සුළඟත් තාලයෙන් නැවතුන


හිරුමල හිනැහෙන

කොහෙදෝ සැඟවුණ

මීදුමකින් මන

හැඟුමන් හැඩදමා පුබුදින


උණුහුම තැවරෙන

සතුට දෝරෙ යන

ආලය වෑහෙන

සොඳුරුයි සොඳුරියේ අද දින.....


( මත්වල ගී විරිත )


--- දුමී ---

Saturday 6 January 2024

දිරි ලබා දුන් දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා....( ශනිදා රෑ දහයට XIII)

 .

.
.
නුවන් සැනසෙයි දකින කෙත්වතු නීල පැහැ සළු අන්දනා
ගුවන් තළයෙන් දෙරණ සනහා වැටෙන වැහි සුව කැන්දනා 
පිනෙන් ඔබගේ ගමම පිබිදෙයි ගැමි සිරිය හැඩ ගන්වනා
එවන් තෙද ඇති දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා

කිරි මවගෙ ගැබ මෝරවා නිති වාසනාවන් කැන්දනා
සිරි රැඳුණු මල් පොකුරු අබියස බිඟුන් රාවය නංවනා
පිරි ජලය ඇති දොළක කඩිසර දණ්ඩි රැඟුමන් පෙන්වනා
දිරි ලබා දුන් දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා

බුලත් හුරුළු ගෙන මලින් පුදමින පැතුම් සිත් තුළ බන්දනා
දෙඅත් සිරසට තබා බැතියෙන් ඔබේ ගුණ සිහි ගන්වනා
හෙටත් ලොව වෙත කාරුණික වී වඩින තුරු දුක හංගනා
මහත් බල ඇති දෙවියණේ හිරු ඔබ නමින් මේ වන්දනා

--- දුමී ---

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...