Saturday 13 July 2024

සුසුමකවත් නැවතුණිනම්.... ( කෙටි කතාව )

 

.

--- සුසුමකවත් නැවතුණිනම් ---

                         ( කෙටි කතාව )

.


ජීවිතය පිළිබඳව වූ ඒ භයානකම ලියවිල්ල යළිත් මගේ ඇස් ඉදිරියට පැමිණියේ කීවෙනි වතාවටද යන්න මම නොදනිමි. වරක් බලා මේසය මතට විසිකර දැමූවත් යළි යළිත් එය කියවන්නට හිතෙන්නේම තවමත් එහි සටහන්ව තිබූ දෙය අදහාගත නොහැකිවූ බැවිනි. මේසය අසළ පුටුවේ වාඩිවී පොඩි කර තිබූ ඒ කොලය හෙමින් හෙමින් නැවතත් මම දිගහැරියෙමි.


දිනය, වෙලාව, නම, වයස, ආදී වූ විස්තර අතරේ ඒ සටහන දකිද්දි මගේ තොලකට වේලී ගියේය. හද ගැස්මද වේගවත් වන බව දැනුණු අතර සිහින් දාඩියකින් ගත වෙලී ගියේය.

ඒ අතර ජංගම දුරකථනය යළිත් සද්ද නගා වද දෙන්නට විය.


" සත්‍යා " 


මගේ ජීවිතය බොහෝ දුරට හැදූ මගෙ ආදර පෙම්බරියයි. රුව සේම ගතිගුණ අතින්ද ඈ යහපත් තැනැත්තියකි.

උදේ පටන් කීප වරක්ම ඈ මට ඇමතීමට උත්සාහ දැරුවාය. එහෙත් දැන් ඇයට කතා කිරීමට තරම් සුදුසු මානසික මට්ටමක මම  නොවූ නිසාම දුරඇමතුම විසන්ධි කෙරුවෙමි. 


" මට සමාවෙන්න මැණික..."  සැබැවින්ම සත්‍යා තවත් දෙවසරකට පෙර මට මුන ගැසුණිනම් මගේ ජීවිතය වාසනාවන්ත එකක් වනවාට සැකයක් නැත.


හිසේ වේදනාවක් දැනුණු බැවින් මම මේසය මත හිස තබා ගත්තේ ඒ ලියවිල්ල යළිත් පොඩිකර මේසය මත තබමින්‍ ය. 


" ජීවන මහත්තයා "


කාමරයේ දොර අසළින් ඇසුණේ නිවසේ මට සහයට සිටින "අමර" ගේ කටහඬයි.


" එන්න ඇතුළට " මම පැවසූ පසු ඔහු කාමරයට පැමිණෙන බව සෙරෙප්පු ශබ්දයෙන් තහවුරුවිය.


" දවල් කෑම එක ගෙනාවා "

" මට බඩගිණි නෑ, අමර අරං යන්න"

"ඇයි මහත්තයට අසනීපයක්වත්ද ?"

" නෑ. පොඩි හිසරදයක් , දැන් යන්න "

අමර යළිත් පිටවෙන සෙරෙප්පු ශබ්දය මට ඇසුණේය. 


කුමක් කරන්නද , කාට කියන්නද ? මට විසඳුමක් නැත. මම හිස එසවූයෙමි. මේසය මත තිබූ රාමු කරන ලද මගේ උඩුකය සහිත ඦායාරූපය නෙත ගැටුනේ ඒ මොහොතේදීයි. මම එය දෝතින්ම අසළට ගත්තෙමි. 

එය මීට වසර කිහිපයකට පෙර ගත් ඦායාරූපයකි. එකල හිතේ තිබුණේ සැහැල්ලුවකි. සතුටකි. නිදහසකි. එහෙත් අද වනවිට ඒ කිසිවක් මා අසළ නැත. සුසුම, කඳුළ , වේදනාව පමණක් ඉතිරිව ඇත.


 සත්‍යාගෙන් තවත් දුරකතන ඇමතුමක් ලැබුණත් මම එය විසන්ධි කෙරුවෙමි. එහෙත් ඈ නැවතත් ඇමතුමක් ගත් අතර මම එවරද එය විසන්ධි කර අනතුරුව ක්‍රියා විරහිත කෙරුවෙමි. වේදනාවත්, ජීවිතේ පිළිබඳව වූ කළකිරීමත්, කිසිවෙකුටත් මුහුණදීමට නොහැකි නිසාත් දැන් මා තුළ වූයේ කළබලකාරී බවකි. ඉවසිය නොහැකි තැන මම දුරකථනය පොලොවේ ගැසුවෙමි. එය කැඩී විසිරී යන්නට ඇතැයි සිතමි.


නැවතත් මගේ නෙත ගැටුණේ මේසය මත තබාගත් රාමුකළ ඦායාරූපයයි. එහි සිනහවේ යම් වෙනසක් මට පෙනුණි. ඔව්. මම නිවැරදිය. ඒ රූපයට පණ ඇවිත්ද ? එහි සිටින මම දැන් සිනාසෙනුයේ සමච්චලයට බව මට සිතුණේය. ඒ ශබ්දය මට දරාගැනීමට අපහසුය. මම මිටමොළවාගත් අතින් එයට ගැසුවෙමි. 


ඦායාරූපයේ වීදුරුව කෑලි කෑලිවලට බිඳී ගියේ සැනෙකින්ය. එහෙත් ඒ වීදුරු කැබලි යටින් වූ මගේ ඦායාරූපය යළිත් මට සිනාසුනේය. කෝපය වැඩිවූ නිසාම මම එය සුරතින් බිමට තල්ලුකර දැමුවෙමි. වීදුරු කැබලි බිම පුරා විසිරී ගියේ මැදගිල්ලේ ලේ පැල්ලමක්ද රඳවමිණි.


මම මැදඟිල්ල පොඩිකරමින් මතුවෙන ලේ බිඳු දෙස බලාසිටියෙමි. එය දකින මොහොතේ දී මගේ මතකය ඇදී ගියේ මේ හැම විඳවීමකම ආරම්භක හේතුව වෙතටයි.


ඈ " මිත්‍යා "ය. ඇය මුණගැසුණේ සත්‍යා හඳුනාගැනීමට වසර දෙකකට පමණ පෙර වීම මගේ අවාසනාවට හේතුවිය. 

යන එන මග තොටේදී අහම්බයෙන් මුණ ගැසී සතියක් දෙකක් වැනි කෙටි කලකදී දැන හදුනාගත් මිත්‍යාත් මාත් අතර සම්බන්දතාවය ආදරයකට වඩා රාගයකට මුල් වූ බව කිව යුතුයි. මේ නිසාම අපේ සම්බන්ධතාවයේ කෙළවර වූයේ, නගරයේ රාත්‍රී ලැගුම් හලක කාමරයකිනි. 


" ඔය ඉතින්... කපා ගත්තද ඇඟිල්ල...කෝ බලන්න.." නාන කාමරයේ සිට මිත්‍යා මා අසළට පැමිණියාය.


" ටිකක් කැපුණේ..."

ඈ ලේ බිඳුවක් උනන මගේ මහපටඟිල්ල බලා සැනෙකින් එය මුවතුළට දමාගත්තාය . ඒ අතේ සීතල මාව හැඟුම්බර කිරීමට සමත්විය.


මම හෙමින් සැරේ ඇගේ සිරුර පසුපසට දෑත යවා ඈව තුරුළු කරගත්තෙමි. ස්නානයකර තුවායක් හැඳ සිටි ඇගේ තෙත කොණ්ඩයෙන් තවමත් වතුර බිඳු එකින් එක පිටට වැටෙමින් තිබෙයි. 


" මම නාලා එනකන් ඉන්න තිබ්බනේ අඹ කපන්න ගියේ ... දැන් හරියයි... "

ඈ අඟිල්ල ගෙන තුවායේ පිස දැමුවාය.


" තාම හරි ගියේ නෑ " මම ඇගේ මුහුණට ළංවුණෙමි. ඒ අඩවන් දෙනෙත් තෙත් වූ සිනිඳු දෙතොල් මගේ ඉවසීම බිඳ දැමුවෝය.


" මො..ක...ද්..ද ?"

" පි..ස්...සු..ව..   ම...ගේ... "

" ඒ.. කි...ව්...වෙ... "

කතාව එපමණය. ඒ දෙතොල් මා දෙතොල් අතර තිබූ පරතරය ටිකෙන් ටික අඩුවිය. ඒ දෙඅත් මගෙ පිට පුරා දිව ගියෝය. උණුහුම් රසය අතරේ දෙනෙත්.....


ඒ අඳුරු මතක මතින් මම පියවි ලොවට පැමිණියේ අමර යළිත් කාමරයට පැමිණ මගේ උරහිසින් අල්ලනවාත් සමගම.

"අ...ම...ර..." 

" මහත්තයාට මොකද වුණේ. මේ වීදුරු කෑලි බිමත් එක්ක. ආහ්.. අතින් ලේත් එනවා නේද ?. කෝ මම ..." මේ මොහොතේ ඔහු මට තවත් හිසරදයකි


" අමර...යන්න එලියට "

"ඒත් මහත්..." 

" යන්න නේද කිව්වෙ " 

"අනේ ඒත්..."

"පලයං මිනිහෝ එළියට" 

බැරිම තැන මම පුටුවෙන් නැගිට්ටෙමි.

අමර බිය වී කාමරයෙන් පිටවී ගියේය. මම ඉක්මනින්ම කාමරයේ දොර වසා අගුල දැමුවෙමි.


පොඩි කෙරූ කඩදාසිය තවමත් මේසය මතය. මගෙ හිස දැන් එකම අවුල් ජාලයකි. තීරණයක් ගත යුතුව ඇත. එහෙත් එය සත්‍යාට කෙසේ බලපායිද ? එවන් අහිංසක තැනැත්තියකට තව දුරටත් ගින්දරක් දෙන්නේ කෙසේද ? කුමක් වුවත් තවත් ඉවසා සිටිය නොහැකිය.

මම මේස ලාච්චුවෙන් කඩදාසි කොලයක් හා පෑනක් ගෙන ඇඳට ගොස් ඇයට ලිව්වෙමි.


" සත්‍යා "

කවදාවත් මෙහෙම දෙයක් ලියන්නට වෙයි කියලා හිතුවෙ නෑ. ඉස්සෙල්ලම මට සමාවෙන්න සත්‍යා. ඔයා මගේ ජීවිතේට අරන් ආවෙ, ආළෝකයක්. ඉදිරියේදී විවාහය වෙනකන් අපේ ආදරය පූජනීයව තියාගන්න ඔයා හැමවිටම උත්සාහ කරා. ඒකයි මට තියෙන සැනසීම. ඒත්... ඒත්... ඔයා මගේ ජීවිතයට එන්න කලින් කරපු මගෙම වැරදි නිසා අද වෙනකොට මම ඒවට වන්දි ගෙවමින් ඉන්නෙ. ඔයාව හැමදාමත් මගේම කරගෙන ලස්සන ජීවිතයක් ගෙවන්න ආසාවෙන් මම හිටියෙ. ඔයාට පොරොන්දු වුණෙත් ඒකයි. ඒත් මට සමාවෙන්න... මීට පස්සෙ ඒ පොරොන්දුව තවත් රකින්න බෑ මැණික..

මේ කියන්න යන දේ ඇහුවොත්, ඔයා මට වෛර කරයි. මාව පිළිකුල් කරයි. ඒත්... මේ හැම දෙයක්ම වුණේ ඔයා මගෙ ජීවිතේට එන්න කලින් කියන එක මම ඔයාට කියන්නම ඕන. මොකද ඔයා තමයි, තේරුමක් නැති ජීවිතය ක් ගතකරපු මාව හරි පාරට ගත්තෙ. ඒකට ඔයාට ගොඩක් පිං. ඔයාට කවදාවත් වරදින්න බෑ. ඔයාට හොද ආදර හදවතක් අනිවාර්යෙන්ම ළංවෙයි. ඉතින් මට දැං යන්න වෙනවා මැණික. 


ලිපිය අවසන් කරන්න කළින් දොරට ගසන ශබ්දය ඇසුණි. ඒ සත්‍යාය.


" අනේ ජීවන... මේ දොර අරින්නකෝ..ඔයාට මොකද අද උදේ ඉදන් උනේ... ජීවන... , කෝල් ගත්තට කතා කරන්නෙත් නෑ...

ජීවන...... ජීවන...."


සත්‍යා දොරට ගසමින් හඬයි. ඒ අතර අමරගේ කටහඬද ඇසෙයි. මම ලිපිය අවසන් කිරීමට සැරසුණෙමි.


මට ආයෙත් නොඑන්නම යන්න වෙනවා, සත්‍යා. මොකද කවදාවත් හොඳ කරන්න බැරි දරුණු සමාජ රෝගයක්, දැන් මාව බිළි අරගෙන තියෙන්නේ...

ඉතින් කොහේ හිටියත් සතුටින් පරිස්සමෙන් ඉන්න... මට මෙහෙම කියන්න අයිතියක් නෑ. මොකද මුලු හදවතින්ම ඔයා මට ආදරය කෙරුවා. මට ඒ ආදරය ලබන්න පිං නැතිවුණා. ඒත් ඔයා හොඳින් ඉන්න. මගේ මතක හැම එකක්ම ඔය හිතින් මකල දාන්න මැණික.

අඩුම තරමෙ මම  ඔයාගෙ සුසුමකවත් නැවතිලා ඉන්නවනම් ඒ සුසුමත් පිටකරලා අලුත් ජීවිතයක් පටන ගන්න මැණික.

පරිස්සමෙන් ඉන්න.

මම යනවා.


ලියූ කොලය ඇඳ මත තබා මම ඇඳේ වැතිරුණෙමි. බාල්කය දිගේ පහළට එල්ලෙන කඹය මා දෙස කෑදරකමින් බලා ඉන්නවා සේ මට හැඟෙයි. ඒ කඹේ දොළදුක සංසිඳවීමට ඇති හොඳම වෙලාව දැන් උදාවී ඇත.


       --- සුසුමකවත් නැවතුණිනම් ---


                        --- නිමි ---

6 comments:

  1. කෙටිකතාව හුදෙක් කතාවක් කීමෙන් ඔබ්බට ගමන් කර ඇතිබව සැබෑව. එහෙත් මෙහි ජීවනගේ මානසික මට්ටම විවරණය උනා මදි කියලා හිතෙනවා අවසානයේදී කියවන්නා නතර වෙන්නෙත් අමර ඉන්න තැනම වගේ දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ අදහස් බොහොම වටිනවා ඉදිරි නිර්මාණ සඳහා.
      හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා

      Delete
  2. Replies
    1. හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ප්‍රා,ජේ.
      ජයවේවා

      Delete
  3. තව පොඩ්ඩක් දිග උනානම් මොකෝ වෙන්නේ කියල හිතුන.අනික මෙහෙම කතා වලට රයිම් වෙන නම් එක් නමකට විරුද්ධ විදියට අනිත් නම වගේ එව්ව ඕනෙනෑ වගේ හිතුන.

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් නිසා තවත් කෙටි කරන්න හිතුණේ...
      මේ අදහස් ගොඩක් වටිනවා සඳූ.
      හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා

      Delete

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...