.
.
උමතු පේමෙගෙ සොහොනෙ තාමත්
රෑට කවියක් හෙමින් ඇහෙනව..
.
"මල් කැඩූ වැව" නමින් ඉස්සර
හැඳින්වූ එක ගමක් තිබුණා
ගල් ගසුත් වගෙ ශක්තියක් ඇති
ගම්මු පිරිසක් එහිත් රැඳුණා
සිල් වතාවත් මාසෙ පෝයට
මගහරින්නැති කෙනෙක් පෙනුණා
වල් සතුන්ටත් සෙනේ දක්වපු
ඔහුට " පේමේ" කියණු ඇහුණා
.
ගමත් හඬවන ඉලව් ගෙදරක්
කොහොමටත් නෑ මග හරින්නේ
විටත් අඹරා කටත් රතුකර
සබාවක් මැද තනි මකන්නේ
නමත් පෑහෙයි රුවට කදිමෙට
හිනාවක්මයි මුව රැඳෙන්නේ
ඔහුත් දිනයක මලවි හීසර
වැදී "නයනගෙ" පෙම ලබන්නේ
.
පිපුණු පෙම්මල් සුවඳ රහසෙම
ඒ දෙසිත්වල හැඩ මවන්නේ
කරුණු දැනගෙන ඇගේ මව් පියො
ඊට එරෙහිව දොස් නගන්නේ
හිතනු බැරි ලෙස වෙනත් දීගෙක
දූව පටලා දුර යවන්නේ
මැරුණු ආලය ගැනම හිතමින්
පේමෙ උමතුව දුක් විඳින්නේ
.
නොපැතු ඉරණම කඩන් වැටිලා
අරමුණක් නැති බවම දැනෙනව
දුරුතු පෝයක ඔහුගෙ සිරුරත්
රේල් පාරක දැකල තියෙනව
අමුතු හැඟුමක් එක්ක අදටත්
ගම්මු ඒ ගැන රහස් කියනව
උමතු පේමෙගෙ සොහොනෙ තාමත්
රෑට කවියක් හෙමින් ඇහෙනව...
.
--- දුමී ---
"මල් කැඩූ වැව " අදවනවිට කුරුණෑගල මීගමු පාරේ පිහිටි " මල්කඩුවාව " බවට පත්වී ඇත.
මෙම සිද්ධිය නිර්මාණයක්ම පමණකි.