Saturday 17 February 2024

මුදා හුස්මද ඇගේ මළගම කඳුළු පිබුදුවෙ රතුව යුග නෙත... ( ශනිදා රෑ දහයට XIX )


 .

සිඳී ඇළ දොළ වේලි එකතුව නියං සිතුවම හැඩට ඇන්දා

බැඳී හැම තැන දූලි සුවඳම කටුක බවනම් හොඳට වින්දා

රැඳී සිටි ඒ ගමේ ගෙදරක මවක සෙනෙහස ලැබුණු හින්දා

රිදී පොකුණක අපට හමුවුණු  තවම මතකයි මැණිකෙ නැන්දා


සීත දුර රට හුදෙකලාවක දිවිය නිහඬව ගෙවෙයි පැද්දී

මෑත හිරු රැස නැගුණු මාවත කවුළු අතරින් පෙනී යද්දී

දෑත එක්කර අසිරි ලැබදුන් ඇයව සිහියට නැගී එද්දී

ඈත මතකය කඳුළු කරවයි නිතර නිතරම රිදුම් දෙද්දී 


දිනක සැමියත් මෙලොව අතහැර ගියේ යන්නට සමග රුදු මරු

හිතක දුකමයි එහෙත් ඇගෙ රුව දකින්නට අප සසර පිං කෙරු

දුරක වැඩපල කරන තිදෙනෙකි උස් මහත්වූ දුව පුතා දරු

නෙතක රතුවී පිපෙනවාමයි මතක් වනවිට කඳුළු මල් සරු


උදේ දහවල රැයද එකලෙස අහර සකසා දුන්නෙ අපටයි

හදේ තෙරපෙන ඇගෙ කථාවම කඳුළු සඟවා කිව්වෙ දුකටයි

නොදේ වෙහෙසක් රාජකාරිද කෙරූ තෙමසක ලැබුණෙ සතුටයි

නදේ මතකයි කීව ජනකවි හමුවුණේනම් පරන පිනටයි


එදා වැඩපල නිමාකරමින් යළිත් ආවෙමු පුරුදු ගම වෙත

බදා අප හැම නළල මත්තට හාදු දුන්නේ සනසමින් හිත

හදා මුවගේ සොඳුරු සිනහව දුක් සුසුම්වැල් ඉවත ගොස් ඇත

මුදා හුස්මද ඇගේ මලගම කඳුළු පිබිදුවෙ රතුව යුග නෙත


උන්න පෙර දින මැණිකෙ නැන්දේ දුන්නු සෙනෙහස තවම විඳිනෙමි

එන්න බැරි විය එහෙත් හිත තුළ කහට නැති බව නිතර පිළිගමි

දන්න නෑකම් අතර ඉහළින් නුඹව හැමවිට බැතින් රඳවමි

යන්න ගියමුත් දුකයි හැමකල් නිවන් සුව මම මෙලෙස පතනෙමි......


( සත්‍ය සිදුවීමක් ඇසුරෙන් 2019 දී නිර්මාණය වූවක් )


--- දුමී ---

13 comments:

  1. 2019 දී සිදුවුනත් දුමී ගේ හදවතට සමීප උන මැණිකේ නැන්දට නිවන් සුව පතනවා..හදවතේ සිරවෙලා තියෙන බැදීම කවියෙන් ඉදිරිපත් කර ඇති ආකාරය හරි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මයියා. මේක " මගෙ පිලොසොපිය" කියන බ්ලොග් අඩවිය අයිතිකරුගේ අද්දැකීමක්. ඔහුගෙ බ්ලොග් සටහන කියවලා ඒ අනුව තමයි මම කවිය ලිව්වෙ. 2019 දි.
      ස්තූතිය ගොඩක් මයියා.
      ජයවේවා !!!

      Delete
    2. මගේ පිලොසොපිය දැන් ලියන්නේ නැහැ නේද

      Delete
    3. ම්ම්.. මාත් "දුමී" බ්ලොග් එක නැතිවුනාට පස්සෙ ලගදිනෙ මේක පටන් ගත්තෙ අයියෙ. මගේ පිලොසොෆිය ලියන බවක් පේන්නෙ නෑ තමා.

      Delete
  2. දැනෙන්න ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  3. කවි කතාවක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. සත්‍ය කතාවක්.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  4. දුක හිතෙන කතාවක්...කවිකම් නම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතිය සඳූ ගොඩක්
      ජයවේවා !!!

      Delete
  5. පටන් ගැන්මෙ හිට අපූරැවට වටපිටාව වර්ණනාව එක්ක... නියමෙට ලියල. කතාවනන් අනුවේදනීයයි තමා 💔

    ReplyDelete
    Replies
    1. ඔව්. නමියා මම කවිය ලියන්න ගත්තෙම ඒ සිදුවීම ලියූ සටහන කියෙව්වම ගොඩක් දැණුන නිසා.
      ස්තූතිය ගොඩක් නමියා.
      ජයවේවා !!!

      Delete

ලබන හැම දින "සේරසිංහ"ය, ආයු බෝ ගෙන රැඳෙණු මැතිණී.... ( ශනිදා රෑ දහයට XXXI )

 . . සලා සිනහව රඟන මොහොතක                       හදේ ගැඹුරුම තැනක රැඳුණා කලා පොකුණම සුවඳවත් කර                  ශ්වේත නෙලුමක් ලෙසට පිපුණා වලා...