Saturday 10 August 2024

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

 

.

.

සොඳුරු මතකේ මැරී ඉපදී 

                                 අතීතෙක සුව මවා පෑවත් 

සිඳුරු වූ හිත රිදෙනවාමයි 

                         දෙනෙත් අතරට කඳුළු නාවත්

අඳුරු අහසද වැලපි වැලපී  

                                 වියෝ ගීයක අරුත කීවත්

කිඳුරු පෙම්වත යළිත් එනතුරු 

                               උරුම නෑ මේ ගතට මාවත්...

.


‍රුදුරු වෙස් ගෙන සළෙල බඹරුන්

                                 සැරිසැරූවද වෙවී හාමත්

ගොදුරු නොවුණෙමි බැල්ම අභියස 

                            සුවඳ පිවිතුරු මලකි තාමත්

නුදුරු සසරේ යළිත් හමුවෙමු

              එතෙක් සෙනෙහස රැඳෙයි කෝමත්

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් 

                    සැපකි මෙලොවින් නික්ම යෑමත්...


                             --- දුමී ---


Saturday 3 August 2024

හිස බරයි මම යන්නෙ කොහොමද ඔබව සොහොනේ රඳවලා.... ( ශනිදා රෑ දහයට XLII )

 .


.

පෙති පරව එකිනෙකින් මැලවී               

                                     අරලියාවෝ ගිලිහිලා

නිති වැතිර මග සදයි පාවඩ 

                                  දුක් සුසුම්පද මුමුණලා

පති යුවති සේ මා ළඟින් රැඳි 

                                 ඔබ සුසානේ තනිවෙලා

හති වැටුණු නෙත් රතුව ගියමුත් 

                                   කඳුලු උල්පත වියළිලා



හිස්තැනක් වූ අඳුරු දිවියට 

                            මල් නෙලාගෙන අමුණලා

ලස්සනක් කර දුන්නෙ නුඹමයි 

                        සුවඳ සෙනෙහෙන් නහවලා

ඇස්වහක් වැද අහිංසකවූ 

                             කැදැල්ලට ගිණි ඇවිළිලා

රස්නයක් නැති හුස්ම පිටකර 

                          ඇයි ගියේ දුර නොපෙනිලා



කුස පිරෙන්නට නොමැත මව්කිරි     

                          සිඟිත්තිගෙ ඇස් රතුවෙලා

සොය සොයා ඈ මවගෙ උණුහුම 

                                   හඬා පපුවම බරකලා 

බැස ගියේ කිම යළි නොඑන්නට 

                                   මසිත් අහසම රිදවලා 

හිස බරයි තව යන්නෙ කොහොමද 

                         ඔබව සොහොනේ නවතලා...



                             --- දුමී ---

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...